මේ වනවිට දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භවීමට නියමිතව තිබූ මෙම තරගාවලිය නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වයිරසය හේතුවෙන් අප්‍රේල් 15 වැනිදා දක්වා කල් ගියද මෙම වයිරසයෙන් වඩාත්ම ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටින ඉන්දියාව අයි.පී.එල්. තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළේය.

ඇති වී ඇති මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා ඇති බවද සඳහන්ය.

ඒ අනුව ඉන්දියාව තුළ තවදුරටත් මෙම වයිරසය ව්‍යාප්ත වී ශ්‍රී ලංකාව තුළ මෙම වයිරසය පාලනය වෙමින් පවතින අවස්ථාවක දෙපාර්ශ්වය විසින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගෙන් “මව්බිම” කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැන්නකි. “අයි.පී.එල්. තරගාවලිය ලංකාවේ පැවැත්වීමට ඉඩ ලබා දෙන ලෙස අපි ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළා. ඒ සම්බන්ධයෙන් ඔවුන් අකමැත්තක් පෙන්නුවේ නැහැ. හැබැයි කැමැතියි කිව්වෙත් නැහැ. ඉන්දියාවේ කොරෝනා තත්ත්වය වැඩි වශයෙන් ව්‍යාප්ත වන නිසා සමහර විට ඔවුන් අපිට මේ අවස්ථාව ලබා දෙන්නත් පුළුවන්. ඒක හරියටම මට විශ්වාසයෙන් කියන්න බැහැ. කොහොම වුණත් නැවතත් මැයි හෝ ජුනි මාසයේදී දෙපාර්ශ්වයම එකතු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ මේ තත්ත්වය පාලනය වූ වහාම අපි රජය හා ආරක්‍ෂක අංශ සමඟත් කතා කරලා බලලා ඉන්දියාව සමඟ තීරණයකට එනවා”

මේ අතර අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමට මෙවර ඉන්දියාවට නොහැකි වුවහොත් ඩොලර් මිලියන 500ක පාඩුවක් විඳ ගැනීමටත්, වෙනත් රටක මෙම තරගාවලිය පැවැත්වුවහොත් විශාල වියදමක් දැරීමටත් සිදුවන හෙයින් මෙම වයිරසයෙන් වැඩි බලපෑමක් එල්ල වී නොමැති ශ්‍රී ලංකාව මෙම තරගාවලිය පැවැත්විය හැකි සුදුසුම රට ලෙස ඔවුන් විශ්වාසය තබා ඇති බවද පැවැසේ.

උපුටා ගැනීම – විචිත්‍ර වීරසිංහ / www.mawbima.lk