2012 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි හිදී නිර්භයා වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයින් සිව් දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

ඉන්දීය වේලාවෙන් අද (20) අළුයම 05.30ට ඔවුන් සිව්දෙනා නවදිල්ලියේ පිහිටි තිහාර් බන්ධනාගාරයේදී එල්ලා මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එලෙස එල්ලා මරා දැමුණේ 32 හැවිරිදි මුකේෂ් සිං ,25 හැවිරිදි පවන් ගුප්තා ,26 හැවිරිදි විනේ ශර්මා සහ 31 හැවිරිදි අක්ෂේ කුමාර් සිං යන පුද්ගලයන් ය.

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2013 වර්ෂයේ දී එම සැකකරුවන්ගෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කිරිමට එරට අධිකරණය පියවර ගත්තේය.

ඒ අනුව 2015 වර්ෂයෙන් පසුව ඉන්දියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

කුරිරු ලෙස දූෂණයට ලක්ව පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 23 හැවිරිදි සිසුවියගේ මව සඳහන් කළේ, මෙම තීන්දුව, ඉන්දීය අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින විශ්වාසය තහවුරු කිරීමට මෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීමට ද හේතු වනු ඇති බවයි.