පාතාල බලය හා දේශපාලන බලය යොදාගෙන මුල්ලේරියාව පොලිස් වසමට අයත් ප්‍රදේශයේ වගුරු බිම් ගොඩකළ සංවිධානාත්මක කල්ලියක් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

මෙම පිරිස මුල්ලේරියාව නව නගරයේ අක්කර ගණනක කුඹුරු යායක් පස් දමා ගොඩකර තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි. මුල්ලේරියාව උතුරේ පස් සෝදා වැලි එකතු කරන යන්ත්‍රවලින් ඉවත් කරන රොන්මඩවලින් වගුරුබිමක් පුරවන ජාවාරමක්ද මෙහිදී සොයාගෙන ඇත. පොලිස් කණ්ඩායම් එහි යනවිට ජාවාරමට සම්බන්ධ වූවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවද පොලිසිය පවසයි.

පාතාල නායක අංගොඩ ලොක්කාගේ කල්ලි යොදවා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ සහායෙන් කරන මෙම නීතිවිරෝධී ගොඩකිරීම් වැටලීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට බලය පවරා තිබිණි.

මේ අනුව පසුගිය දෙසැම්බර් 28 වැනිදා පටන් ඇරඹි මෙම මෙහෙයුමේදී මුල්ලේරියාව පොලිස් වසමේ සැළලිහිණි මාවතේ අක්කර තුනක්, මහවෙල ප්‍රදේශයේ අක්කර දෙකක් ඇතුළු තවත් ගොඩ කළ ඉඩම් සොයා ගැනීමට පොලිස් කණ්ඩායමට හැකිවී තිබේ. නීතිවිරෝධී පස් පිරවීම් නිසා මෙම ප්‍ර‍දේශ ගංවතුරට යටවීමේ අවදානමකට ලක්ව තිබේ.

2006 අංක 35 දරන පහත් බිම් ගොඩකිරීමේ පනත සංශෝධනය කිරීමට පියවර නොගැනීම නිසා පොලිසිය හා බලය ඇති නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වීම හේතුවෙන් මෙම ජාවාරම දිගටම සිදුවී ඇතැයි හෙළිවී තිබේ.

ඉඩම් ගොඩකිරීමේ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය මෙවැනි වැටලීමකදී ජාවාරම්කරුවන්ට නිදහසට කරුණු දැක්වීමටදින දාහතරක් ලබාදීමට පමණක් පෙලඹීමත්, පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුත් නිසා පාතාල හා දේශපාලන බලයෙන් පහත්බිම් පුරවා ඇතැයි හෙළිවී ඇත. මේ අනුව ඉදිරියේදී නීති සංශෝධනය කර පහත්බිම් ගොඩ කරන මෙම ජාවාරම් නැවැත්වීමට බලධාරීන් තීරණය කර තිබේ.