බුත්තල ගෝණගංආර පොලිසිය විසින් වෙහෙරගල ජලාශය ආසන්නයේ මැණික් ගඟ අසල සිදුකළ වැටලීමකදී මහා පරිමාණයේ කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් විසින් දීර්ඝකාලයක සිට ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර එම ප්‍රදේශයට මත්පැන් බෙදා හැර ඇති ප්‍රධාන මධ්‍යස්ථානය මෙය බව පොලිසිය පවසයි.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී එක් සැකකරුවකු මැණික් ගඟට පැන පොලිසියෙන් බේරී පැන යාමට උත්සාහ දරා ඇති අතර එහිදී එම සැකකරු ජලයෙ ගිලී ඇත.පසුව පොලිස් නිලධාරීන් විසින් ඔහු ගොඩ ගෙන දිවි බේරාගෙන තිබේ.

මෙහිදී තවත් සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී කසිප්පු සහ ගෝඩා තොගයක් ද කසිප්පු පෙරීම සඳහා යොදාගත් බැරල් දඟර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගෝණගංආර පොලිසිය විසින් සිදු කරයි.