බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදීද ක‍්‍රීඩකයන් ඇතුළු බහුතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ගේ ඉල්ලීම අසන්ත මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව තුට්ටුවකට මායිම් නොකරන තත්ත්වයක් උද්ගත වී තිබේ.

කොදෙව් පිලට එරෙහිව විස්සයි20 තරග දෙකේදීද නායකත්වයේ වගකීම ලසිත් මාලිංගට පවරා ඇති බව දැනගන්නට තිබේ. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය බාරගන්නා ලෙස තේරීම් කමිටුව ආරාධනා කර ඇති බවත් මැතිව්ස් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. තේරීම් කමිටුව සහ සෙසු පරිපාලනය පිළිබඳව ක‍්‍රීඩකයන් තුළ දැඩි විශ්වාසය පළුදු වීමේ තත්ත්වයක් පවතින බව කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වර්තමාන පුහුණුකරු මිකී ආතර් මහතාද ඇතැම් ක‍්‍රීඩකයන්ගේ සහ තේරීම් කමිටු සාමාජිකයන්ගේ උපදෙස් මත කටයුතු කරන මාර්ග බවට කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි. ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියෙන් තුන් ඉරියව් ක‍්‍රීඩක ෂෙහාන් ජයසූරිය ඉවත්කිරීමට හේතුව පුහුණුකරු මිකී ආතර් මහතා ෂෙහාන් පිළිබඳව පැහැදීමක් නොමැතිවීම බව දැනගන්නට තිබේ.

මෙය කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් හෝ තේරීම් කමිටුව ගොඩනැගූ මතයක් බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඇතැම් ක‍්‍රීඩකයන් මිකී ආතර් ද ‘ටැකල්’ කර ඇති බවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් ප‍්‍රධානීන්ගේ ද මතය වී ඇති බව වාර්තා වේ. ක‍්‍රීඩකයන් පුහුණුකරුව අල්ලාගෙන ඔවුන්ට අවශ්‍ය දේවල් කරගන්නේ නම් හතුරුසිංහ සහ මිකී ආතර් අතර වෙනසක් බලාපොරොත්තු විය නොහැක.

කොදෙව් පිලට එරෙහිව එක්දින සහ විස්සයි20 තරගාවලිය සඳහා වෙන වෙනම 20 බැගින් වන සංචිත දෙකක් නම් කර ඇති අතර ක‍්‍රිකට් තරගාවලිය සඳහා තේරීම් කමිටුව පසුගිය සඳුදා 20 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබුණි. කෙසේ වෙතත් එම සංචිත මෙම සටහන තබන මොහොත දක්වා ජනමාධ්‍යයට ලබාදී නොතිබුණි. ඒ සඳහා එල්ල විය හැකි විරෝධයන්ගෙන් ගැලවීම මෙම සංචිත සැඟවීමට හේතුව බවට පත්ව තිබේ.

කොදෙව් පිලට එරෙහිව පළමු එක්දින තරගය ලබන 22 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම තරගය සඳහා අවසන් 15 දෙනාගේ සංචිතය පසුගිය බ‍්‍රහස්පන්දා (20 වැනිදා) නම් කරන බව තේරීම් කමිටුව පවසා තිබුණි.
“ඕක කොළේ වහලා ගැහිල්ලක්. ඇයි සංචිතය තාම දුන්නෙ නැත්තේ. අපි තේරීම් කමිටුවට කියන්නේ හැංගිමුත්තන් සෙල්ලම් කරන්නේ නැතුව කණ්ඩායම ප‍්‍රසිද්ධ කරන්න” යැයි ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයෙක් ‘දේශය’ට පැවසීය.

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයාද තේරීම් කමිටුවේ ක‍්‍රියාකලාපය පිළිබඳව එතරම් පැහැදීමක නොසිටින බවත් දැනගන්නට තිබේ. නොපමාව මෙම තේරීම් කමිටුව වෙනස් නොවුණොත් ඉදිරියේදී බරපතළ මත ගැටුම් ඇතිවිය හැකිය.

වරකාගොඩ ගමගේ / www.deshaya.lk