ප්‍රකට සිනමා නිළි සබීතාගේ සැමියාට අයිතිව තිබූ රාජගිරියේ නව ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ලබාගෙන තිබීමේ සිද්ධිය පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා වුවද පසුගිය ආණ්ඩුව සමයේ එම කරුණ යටපත් වෙමින් පැවතිණි. එහෙත් එය යළිත් කරළියට පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් චමල් රාජපක්ෂ පත්වීමෙන් පසුවය. අනතුරුව අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි එම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබුණු කෘෂිකර්ම අමාත්‍යංශ කාර්යාලය ආපසු කලින් තිබූ බත්තරමුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගෙනයාමට තීරණය කෙරුණි.

ඒ තීරණය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන බවට චෝදනා කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ස්වකීය අමාත්‍යංශය මුලින්ම ඉවත් කිරීමට කටයුතු කළේය. ඉන් සති දෙකකට පමණ පසු පසුගියදා සමස්ත කෘෂිකර්ම අමාත්‍යංශයම බත්තරමුල්ලට රැගෙන යාම සිදුවිය. කෙසේ වුවද මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලියට ගැනීම සහ එයට මාස 24ක අත්තිකාරම් ලෙස රුපියල් 570,628,800ක් 2016.04.18 දින ගෙවීම සහ එම ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යංශය ගෙනගොස් නොමැති මාස 14ක කාලයක් සඳහා මසකට රුපියල් 21,000,000 කුලිය හා ජාතිය ගොඩනැගිමේ බද්ද රුපියල් 420,000 බැගින් සහ 11%ක් වූ වැට් බද්ද රුපියල් 3.213,000 බැගින් ගෙවීම පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇතිවිය. මේ පිළිබඳ එවකට සිටි විගණකාධිපතිවරයා 2016 මැයි මස 06 දින විගණන සටහනක්ද යොමුකර දිගටම විගණන කටයුතු කරගෙන එමින් තිබිණ.

මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධයෙන් 2016.04.07 දින පැවැති රාජ්‍ය ගිණුම්කාරක සභාවේ 40 වැනි රුස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබූ අතර ගොඩනැගිල්ලේ මාසික වෙළෙඳ කුලිය රුපියල් මිලියන 13.5ක් බවට රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කරනු ලැබ තිබියදී ගොඩනැගිල්ලේ හිමිකරු ඉල්ලා සිටි රුපියල් මිලියන 21ක මාසික කුලිය ගෙවීමට එකඟවිම බරපතළ අක්‍රමිකතාවක් බවද අනාවරණය විය. 2016.04.07 දින ගිණුම්කාරක සභාව මෙවැනි නිරීක්ෂණ කර තිබියදී එය නොසලකා එදිනට පසුදා මෙම ගනුදෙනුව පිළිබඳ ගිවිසුම් පත්‍රය අත්සන් කිරීමද සුවිශේෂ වෙයි. මෙය ඉතාම හදිසියේ සිදුවූ ගනුදෙනුවකි.

එසේම විගණකාධිපති පෙන්වා තිබූ තවත් අවිධිමත් ක්‍රියාවක් වූයේ මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීම සඳහා 2016 වාර්ෂික අයවැය ලේඛනයෙන් ප්‍රතිපාදන වෙන්කර නොතිබුණ ද, 2016 අංක 16 දරන විසර්ජන පනතේ විධිවිධාන පාදක කරගෙන 2016.04.08 දින පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන්කර අයවැය සහනසේවා හදිසි අවස්ථා ව්‍යාපෘතියෙන් ප්‍රතිපාදන ලබාගෙන තිබුණි. දෙපාර්ශ්වය ගිවිසුමකට එළඹීමට ප්‍රථම එවැනි ප්‍රතිපාදනයක් ඉල්ලා සිටිය නොහැකි නමුත් එවැනි බැරකමක් නොමැතිව පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් ලබාගැනීමද වැරදි සහගත බව අනාවරණය වී තිබුණි.

තවද එවකට විගණකාධිපති පෙන්වා තිබූ තවත් සුවිශේෂ කරුණක් වූයේ මෙම ගොඩනැගිල්ල ලබාගැනීම සඳහා එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය මගින් ප්‍රතික්ෂේප කර තිබියදී “පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම හා අතිරේක කාර්යාල ඉඩකඩ අවශ්‍යතාවය” යන හිසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2015.09.21 දිනැති කැබිනට් සංදේශය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලය 2015.09.22 දින අනුමැතිය දී ඇති බවය.

අමාත්‍යංශ කාර්යාලය වෙනස් කළද මෙම ගොඩනැගිල්ල ලබාගැනීමේ අවිධිමත් ක්‍රියා පිළිබඳ විමර්ශන කටයුතු මේ වනවිට අලුත් මුහුණුවරකින් ඉදිරියට එමින් පවතී. මේ ජනතා මුදල් නාස්තිය පිළිබඳ විමර්ශනයක් කර වගකිවයුත්තන්ට එරෙහිව අප්‍රමාදව කටයුතු කළයුතු බවට වර්තමාන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද මේ වනවිට ප්‍රකාශ කරන බව පෙනෙන්නට තිබේ.

වර්තමාන විගණකාධිපති ඩබ්ලිව්.පී.ඩී. වික්‍රමරත්න විසින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පසුගිය 20දා නිර්දේශ කර තිබේ. ප්‍රසම්පාදන ක්‍රියා පිළිවෙළට පටහැනිව ගොස් විනිවිදභාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුවටද වැඩියෙන් ගෙවමින් රජයේ අරමුදලෙන් රුපියල් කෝටි 152ක් වැයකර කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා මෙම පෞද්ගලික ගොඩනැගිල්ල කුලියට ගැනීමට කටයුතු කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුය යන්න ඔහුගේ නිර්දේශය වේ. ඔහු මෙසේ නිර්දේශ කර ඇත්තේ විශේෂ විමර්ශනයක යෙදෙමිනි.

කෘෂිකර්ම අමාත්‍යංශය සතුව බත්තරමුල්ලේ හෙක්ටයාර 1ක භූමි භාගයක් තිබියදී එහි අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිනොකර මේ ගොඩනැගිල්ල කුලියට ගෙන එහි කුලිය වශයෙන් මසකට රුපියල් දෙකෝටි දසලක්ෂය බැගින් වර්ෂ 5ක් සඳහා රුපියල් කෝටි 126ක් ගෙවීමට රජයේ පාර්ශ්ව එකඟ වී තිබුණු බවද අනාවරණය කරගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍යංශයේ කටයුතු සෙත්සිරිපායේ පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩලය මුලින් තීරණයක් ගෙන තිබියදී එය ප්‍රමාණවත් නොවන බවට හිටපු අගමැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එය ප්‍රමාණවත් නොවන බවට පැහැදිලි හා ලිඛිත හේතු ඉදිරිපත් කර නොමැති බවද විගණකාධිපති ප්‍රකාශ කර තිබේ. එම කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව මෙම පෞද්ගලික ගොඩනැගිල්ල තෝරාගෙන තිබූ බව විගණකාධිපති නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම විගණකාධිපති අනාවරණය කර ඇති වැදගත් නිරීක්ෂණයක් වන්නේ එම ගොඩනැගිල්ලේ සම්මත උස හා මහල් සංඛ්‍යාව ඉක්මවා අනුමැතියකින් තොරව ඉදිකර ඇති බවය. එසේම එයට එරෙහිව වගකිවයුතු ආයතන ක්‍රියාකර නැති බවද විගණකාධිපති පෙන්වා දී තිබේ. අනුමත මහල් සංඛ්‍යාවට වඩා මහල් තුනක් වැඩියෙන් සහ අනුමත උසට වඩා අඩි 33ක් උසින් යුතුව ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර එය නීත්‍යානුකූල ගොඩනැගිල්ලක් නොවී තිබියදී අමාත්‍යංශය එය තෝරාගෙන ඇති බවද කියයි.

විගණකාධිපති පෙන්වා දී ඇති තවත් කරුණක් වනුයේ ගිවිසුම්ගත දිනය වූ 2016.04.08 සිට 2017 ජූනි මස දක්වා අමාත්‍යංශය එම ගොඩනැගිල්ලට ගෙන නොයාම නිසා රුපියල් කෝටි 32ක් අනාර්ථිකව වැයකර ඇති බවයි. එයට අමතර වශයෙන් කිසිදු සේවයක් සිදුකර නොගෙන සේවා ගාස්තු වශයෙන් වර්ග අඩියකට රුපියල් 60 බැගින් රුපියල් නව කෝටි විසිහත් ලක්ෂයක් අතිරේකව ගෙවා තිබෙන බවය.

තවද අමාත්‍යංශයට තිබුණු ලී බඩු හා උපකරණ ඉහළ වටිනාකමෙන් යුතු ඒවා වන අතර භාවිතයට ගත හැකිව තිබුණ ද එම උපකරණ වෙනත් රාජ්‍ය ආයතනයකට දී අලුතින් රුපියල් මිලියන එකොළොස් කෝටි හතළිස් හය ලක්ෂයක් වැයකර ලී බඩු හා උපකරණ මිලදී ගෙන ඇති බවද අනාවරණය වී ඇත. එසේම කෘෂිකර්ම අමාත්‍යංශය කළින් තිබූ ගොඩනැගිල්ලෙන් අලුත් තැනකට ගෙනයාමට හේතුව ලෙස පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම හා අතිරේක කාර්යාලවලට ඉඩ ලබා ගැනීම යැයි සඳහන් වුවද 2019 දෙසැම්බර් අවසානය දක්වාම අදාළ කටයුතුවලට එම ඉඩකඩ පාවිච්චි කර නොමැත.

පෞද්ගලික ගොඩනැගිල්ලේ හිමිකරුගේ කොන්දේසිවලට එකඟ වී රජයේ ප්‍රසම්පාදන පටිපාටියට එරෙහිව කටයුතු කර ඇති බව විගණකාධිපති පෙන්වා දෙයි. රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නියෝග මෙන්ම විගණන විමසුම් මගින් පෙන්වා දී තිබූ කරුණුද නොසලකා මේ පිළිබඳ ගිවිසුමකට එළඹ ඇති අතර එමගින් රජයට පාඩුගෙන දෙන ව්‍යාපාරිකයාට වාසි ලැබෙන අවස්ථාවක් උදාකර දී තිබූ බවද අවධාරණය කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් තම නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි විගණන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික උසස් නිලධාරියෙක් මෙසේ පැවසීය.

“රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ විගණන දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය පිළිබඳ ඉතාම උනන්දුවකින් ක්‍රියා කළා. එහෙත් මේතාක් වැඩක් සිද්ධ වූ බවක් පෙනෙන්නට නැහැ. සියල්ල සිදුව ඇත්තේ දේශපාලන වුවමනාකම් මතයි. තම හිතවතකුට උදව් කිරීම සඳහා තමා රාජ්‍ය ආදායම් මෙහෙම කෝටි ගණනින් විනාශකරලා තියෙන්නේ. මේවා මහජන මුදල්. දුප්පතාගේ කහට කෝප්පයෙන්, පිටි රොටියෙන් උපයාගත් මුදල් බව තුට්ටුවකටවත් නොසලකා විශාල අපරාධයක් තමා කරලා තියෙන්නේ. මෙයට වගකිවයුතු අය කවුද කියලා මුළු රටම දැනගෙන හිටියත් විවිධ උපක්‍රම මගින් ඔවුන් ගැලවිලා ඉන්නවා. සාමාන්‍ය මිනිහෙක් රුපියල් 500-1000ක වංචාවක් කළත් ඔහු අල්ලලා හිරේ දාන රටේ මෙවැනි කුප්‍රකට වංචාකරුවන් එයින් ගැලවිලා යහතින් ඉන්නවා. කාට බොරු කළත් තම හෘදයසාක්ෂියට බොරු කරන්න බැරි බව ඒ අය සිතාගත යුතුයි.

අනිත් අතට මේ ආණ්ඩුවෙන්ද මේ බැරෑරුම් සිද්ධියේ වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගනීවි කියලා හිතන්න බැහැ. බැඳුම්කර වංචාකාරයන් යහතින් ඉන්නවා වගේම මේ මහා පරිමාණ දූෂිතයන්ද යහතින් ඉන්න තියෙන ඉඩ වැඩියි. මෙය අනාගතයට පූර්වාදර්ශයක් වෙනවා. ඒ මොකද තමන්ට ගැලවෙන්න පුළුවන් බව අවබෝධ කරගන්නා දේශපාලකයන් සහ උසස් නිලධාරීන් ඉදිරියේදී මෙවැනි වංචාවල පැටලෙන්නට තියෙන ඉඩ වැඩියි.

ස්ථානයෙන් ඉවත් වුවද ගිවිසුම අනුව දිගටම බදු මුදල් ගෙවිය යුතු බවට බදු ගිවිසුමේ කොන්දේසියක් ඇතුළත්ව තිබීම පිළිබඳ නීතිමය තත්ත්වය ගැන කොළඹ නීති පීඨයේ කථිකාචාර්ය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතාගෙන් විමසූවිට ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“මෙහිදී අත්සන් කර ඇති ගිවිසුම දැන් වෙනස්කළ නොහැකියි. එහෙත් මෙය එක් පාර්ශ්වයකට පමණක් වාසි ගෙන දෙන ලෙස සකස් කරලා තමයි තියෙන්නේ. මේ ගිවිසුම අවලංගු නොකළත් මෙලෙස අසාධාරණ ලෙස කුලිය දිගටම ගෙවීම නවත්වා දැමීමට පුළුවන්. මොකද කුලිය ගෙවන්නට එම ස්ථානය පාරිභෝජනය නොකරන නිසා. එහෙම ගෙවීම නැවැතූ විට අදාළ සමාගම අධිකරණයට යාවි. එවිට උසාවියේදී කරුණු කියන්නට අනිත් පාර්ශ්වයට පුළුවන් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරනවිට ගිවිසුමට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමා ඉහළින් තිබෙන්නේ. ඒ නිසා ජනතාවට යහපතක් සැලසීමේ පරමාර්ථය මත කටයුතු කළ බව කියන්නට ආණ්ඩුවට පුළුවන්. ජනතා පරමාධිපත්‍ය සැලසීම සඳහා ජනතාවට හානිකර නම් ගිවිසුම නොසලකා හරින්න ආණ්ඩුවට පුළුවන්. මෙය අති දූෂිත ගනුදෙනුවක් බව සනාථයි.

පසුගිය වකවානුවේ ද ෆිනෑන්ස් සමාගම සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව අතර සිදුවූ කොටස් ගනුදෙනුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාරිභෝගිකයාට සිදුවන හානිය ගැන සලකා මුදල් ගෙවීම නැවැත්වීමට තීරණයක් ගත්තා. මෙයත් එවැනි අවස්ථාවක්. ඒ අනුව ජනතා යහපතට තීරණ ගන්න ආණ්ඩුවට පුළුවන්.

අනිත් අතට අයුතු ලෙස ධනවත්වීම වැළැක්වීමේ සිද්ධාන්තයක් තියෙනවා. කිසිම කෙනෙකුට ගනුදෙනුවකදී අයුතු ලාභයක් ලබා ගැනීමට ඉඩ නැහැ. එසේම “අවශ්‍යතාවයේ නීතියේ” සිද්ධාන්තය අනුවද කටයුතු කළ හැකියි. විශාල හානියක් වළක්වා ගැනීමට සුළු පාඩුවක් සිදුකර ගැනීම මෙයින් අදහස් වෙනවා. ඒ අනුව බදු මුදල් ඉදිරියට නොගෙවා අධිකරණයේදී සාධාරණයක් ඉටුකරගන්න හැකිවේය යන්න මගේ විශ්වාසයයි.”
► යසවර්ධන රුද්රිගු