ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසු ගිය දා නිකුත් කළ නිවේදනයකට අනුව ලොව භීතියෙන් මුසපත් කළ 2019 නව කොරා්නා වෛරසය හා බැඳුණු මිත්‍යා මත රාශියකි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එකී මිත්‍යාවන්ට පැහැදිලි පැහැදිලි පිළිතුරු මෙසේ ලබා දී ඇත. මේ ඉන් සමහරකි.

චීනයෙන් ලැබෙන ලිපි හෝ පාර්සල් මගින් කොරෝනා බෝවිය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරන්නේ ලිපි හෝ පාර්සල් වැනි පෘෂ්ටයන් මත බොහෝ වේලාවක් රැඳී සිටීමේ හැකියාව කොරෝනාවට නැති බවය. ඒ නිසා ඔබ චීනයෙන් ලැබෙන ලිපි හෝ පාර්සල් බාර ගැනීමට බිය විය යුතු නැත.

සුරතල් සතුන්ගෙන් කොරෝනා බෝවිය හැකිය.

බල්ලන් හෝ බළලුන්ට කොරෝනා බෝ වූ බවක් තවම සොයාගෙන නැත. කෙසේ වුවද බල්ලන්, බළලුන් සුරතල් කිරීමෙන් පසු සබන් ගා අත සෝදා ගැනීම මගින් වෙනත් විෂ බීජයන්ගෙන් ඔබව ආරක්ෂා කෙරේ.

නිව්මෝනියාවට ලබාදෙන එන්නත කොරෝනාවටත් ප්‍රමාණවත්,

නැත. මේ එන්නත කොරෝනාවට අදාළ නොවේ. කොරෝනාවට අලුත් එන්නතක් සොයා පර්‌යේෂණ සිදු කෙරෙමින් පවතී.

නාස් කුහරය සේලයින් වතුරෙන් නිරන්තරවම පිරිසිදු කිරීමෙන් කොරෝනා වෛරසයෙන් බේරී සිටිය හැකිය.

මෙය ද මිත්‍යාවකි.

විජ බීජ නාශක මුඛ සේදුම් දියරයකින් ​උගුර සේදීමෙන් කොරෝනා බෝවීම වළකා ගත හැකිය.

මෙයද මිත්‍යාවකි. එය එසේ වේ යැයි කිසිම සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැත.

සුදුලූනු කෑම කොරෝනා විෂ බීජයෙන් බේරී සිටීමේ මගකි.

ඇතැම් බැක්ටීරියා නසන ප්‍රතිජීවක ගුණයක් සුදුලූනු වල තිබෙන බව සත්‍යයකි. නමුත් නව කොරෝනාවෙන් බේරීමට සුදුලූනුවලින් අනුග්‍රහයක් ලැබෙන බවක් කිසිවෙක් සොයාගෙන නැත.

ශරීරය පුරා තලතෙල් වැනි ආලේපයක් ගෑමෙන් කොරෝනා විස බීජය ශරීරයට ඇතුළු වීම වැළකේ.

තලතෙල්වලට කොරෝනා විනාශ කළ නොහැක. එහෙත් සමහර විෂබීජ නාශක දියරවලට ඒ බලය ඇත. ඒවා මිනිස් සිරුරට අතිශයකින් අහිතකරය.

නව කොරෝනාවට මහලු අය සහ තරුණ අය පහසුවෙන් ගොදුරු වේ.

වයස් භේදයකින් තොරව නව කොරෝනාව ඕනෑම වයසක අයෙකුට බෝවිය හැකිය. විශේෂයෙන් දැනටමත් ශ්වසන ආබාධ දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන අය මෙහි දී වඩාත් පරිස්සම් විය යුතුය.

නව කොරෝනා වෛරසයට ඔරොත්තු දෙන ප්‍රතිජීවක බැක්ටීරියා නාශක ඖෂධ ඇත.

බැක්ටීරියාවලින් ආසාදනය වන රෝගවලට මිස මෙබඳු වෛරස් ආසාදන රෝගවලට ඉහත කී ප්‍රතිජීවකවලින් ​ පලක් නැත. ඔබ රෝහල් ගත වූ විට මෙබඳු ප්‍රතිජීවක ලබා දෙන්නේ වෙනත් බැක්ටීරියා ආසාදනවලින් ඔබව ආරක්ෂා කිරීමටය.

නව කොරෝනා වෛරසයට සුදුසු ඖෂධයක් තිබේද?

තවම එවැනි ඖෂධයක් සොයාගෙන නැත. කොරෝනා ආසාදිතයකුගේ රෝග ලක්ෂණ අනුව නිසි වෛද්‍ය ප්‍රතිකාර අදාළ අධීක්ෂණයන් යටතේ ඉතා ඉහළ මට්ටමින් සිදුවිය යුතුය.

ලෝක සෞඛ්‍ය ​ සංවිධානයේ නිවේදනයක් ඇසුරිනි.