චීන ජාතිකයන් බහුතරයක් සේවය කරන විදේශීය නැව් මෙරටට පැමිණ මාළු ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියාවලිය තුළින් කොරෝනා වෛරසය මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඊයේ (26 වැනිදා) මාරවිල – කොස්වාඩිය ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව කියා සිටියහ.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මෙසේ කීය.

“පසුගිය රජය කාලයේ විදේශීය නැව් 28 ක් මෙරටට පැමිණ මාළු ප්‍රතිඅපනයනය කිරීමට අවසර ලබා දුන්නා. අපි ඊට විරුද්ධව කටයුතු කළා. නමුත් වත්මන් රජය විසින් මේ වනවිට නව නැව් 07ක් සඳහා මෙරටට මසුන් ගෙනවිත් ප්‍රතිඅපනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා. මෙම කටයුත්ත තුළින් සිදුවන්නේ අපේ ධීවරයාගේ බඩට පහර වැදීමක් පමණයි. අපි විසින්ම පත්කර ගත් රජයක් මේ ආකාරයට කටයුතු කිරීම නොකළ යුත්තක් බවටයි අපි විශ්වාස කරන්නේ”.

සමස්ත ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමගේ ලේකම් රුවන් ප්‍රනාන්දු අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මේ වෙන කොට අපේ රටේ ලියාපදිංචි බහු දින යාත්‍රා 6000 ක් පමණ තිබෙනවා. ඉන් බහු දින යාත්‍රා 2500 ක් පමණ සිදු කරන්නේ ජාත්‍යන්තර මුහුදේ ටූනා මසුන් මැරීමටයි. බහු දින යත්‍රා ආශ්‍රිතව පුද්ගලයන් 40,000ක් පමණ සේවය කරනවා. දළ වශයෙන් ගත් කල පවුල් ලක්ෂ 02 ක් පමණ ජීවත් වෙනවා. නමුත් විදේශීය නැව් මෙරටට පැමිණ මාළු ප්‍රතිඅපනයනය කිරීම නිසා මේ පවුල් සියල්ල අද දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා.

අපි කියන මේ විදේශීය නැව්වල සේවය කරන්නේ බහුතරයක් චීන සහ තායිලන්ත ජාතිකයන්. ඔවුන් කිසිදු අපහසුතාවකින් තොරව මෙරටට ඇතුළු වී දින ගණන් ධීවර වරායවල් සහ ඒ ආශ්‍රිතව කාලය ගෙවනවා. මේ දිනවල ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරසය අපේ රටට විත් මාළු ප්‍රතිඅපනයනය කරන පුද්ගලයන් තුළින් ගැටලුවකින් තොරව ඇතුළු වීමට හැකියාව තිබෙනවා. මන්ද අපේ කිසිදු ධීවර වරායක විධිමත් සෞඛ්‍ය පරීක්ෂණයක් සිදු කරන්නේ නැති නිසා.

එක් පැත්තකින් අපේ රටේ ධීවරයාට විදේශීය යාත්‍රා විසින් හානි කරන විට පැතිර යන වෛරස් රෝග ඔවුන් ගෙන ආවොත් ඉන් සිදු වන්නේ විශාල විනාශයක් බවයි අපි කියන්නේ.”