සංචාරක සිතියමකට නැවත ඇතුළත් කෙරුණු අනුරාධපුරය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලට ඇතුළත් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යංශ බළධාරින්ට උපදෙස් දෙයි.

අනුරාධපුර නගරය සංචාරක සිතියමෙන් ඉවත් කෙරුණේ පසුගිය යුධ සමයේදී ය. ජය ශ්‍රී මහා බෝධියට, අනුරාධපුර ගුවන් හමුදා කදවුරට කොටි ත්‍රස්තවාදින් ප්‍රහාර එල්ල කිරීමත් යුධ සමයේ අනුරාධපුර නගරය ප්‍රධාන හුවමාරු නගරයක් ලෙස පැවතීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක සිතියමෙන් එය ඉවත් කෙරුණි. සංචාරක හෝටල් හිමියන් සමග ඇමති ප්‍රසන්න රණතුංග මහතා කළ සාකච්ඡාවේ දි අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ රටේ පවතින සාමකාමි වාතාවරණය තුළ අනුරාධපුරය නැවත සංචාරක සිතියමට ඇතුළත් කෙරුණ ද සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලදි අනුරාධපුරය නොසලකා හැර ඇති බවයි. වහාම එය නිවැරිදි කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් චාන්දනී වේරපිටිය මහත්මියට උපදෙස් දුන්නේය.

මේ වසරේ මැයි මාසය වන විට අනුරාධපුරයේ සංචාරක හෝටල් 26 ක් බැංකුවලට සින්න වන බව අනුරාධපුර සංචාරක හෝටල් හිමියෝ මෙහි දි ඇමතිවරයාට පෙන්වා දුන්හ. සංචාරක ව්‍යාපාරය දිගින් දිගටම අඩාල වීම නිසා බැංකුවලින් ගත් ණය ගෙවා ගත නොහැකි විම ඊට හේතුවයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දි කියා සිටියේ මේ තත්ත්වය පිළිබද ව රජයේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි. බැංකු වලට සින්න වීමට යන සංචාරක හෝටල් හා ඒවායේ ණය පිළිබද ව විස්තර තමාට ලබා දෙන ලෙස ද ඇමතිවරයා එම සංගමයෙන් ඉල්ලා සිටියේ ය.