ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දියුණු කිරීම වෙනුවෙන් කණ්ඩායමට විශේෂඥ උපදේශකයෙකු බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණු කරුවෙකු වන ටොම් මූඞී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ලබන පෙබරවාරි මාසයේ සිට ඔහු ආදාළ තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම තරග පරාජය වීම හේතුවෙන් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ සහ උපදේශකවරුන්ගේ වෙනසක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

එ් අනුව කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න පත් කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇතැයි වාර්තා වේ. මීකී ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන විශේෂඥ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ උපදේශකයකු ලෙස ටොම් මූඩි බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.

එ් අනුව වසර දෙකක කාලයක් වෙනුවෙන් ටොම් මූඩිගේ සේවාව විශේෂඥ උපදේශකයකු වශයෙන් කණ්ඩායමට ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ අතර අදාළ යෝජනාව පිළිබඳ ටොම් මූඩිද යහපත් ප‍්‍රතිචාර දක්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි 2005 සිට 2007 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළේය. එහිදී 2007 දී ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය දක්වා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එය 1996ට පසු ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණි පළමු අවස්ථාව බවට පත් විය.