අපේ රටේ මුඛ ආවරණ බැඳගෙන මග තොටේ යනෙන මගීන් හමුවන්නේ ඉඳහිටය. ඒත් ඔවුන් මුඛ ආවරණ බැඳගෙන යන්නේ ශ්වසන හෝ පිළිකා වැනි රෝගී තත්ත්වයෙන් පෙළීම නිසාය. අපේ රටේ එසේ වූවාට පසුගිය දවස්වල අල්ලපු රටේ නවදිල්ලි අගනුවර සියල්ලෝම පාහේ මුඛ ආවරණ පැලඳගෙන සිටියෝය. ඒ නගරයේ ඇති අධික දුමාරය නිසාය. නවදිල්ලි නුවර වැසියන්ට පෙර චීනයේ බීජිං නුවර වැසියන් නම් කලක සිට සිටින්නේ මුඛ ආවරණ පැලඳගෙනය. ඒ නුවර වායු දූෂණය එතරම් වැඩිය.

බීජිං හා නවදිල්ලිය ඇතුළු බොහෝ නගර පහු කරමින් දැන් වායු දූෂණය අපේ රටට පැමිණ ඇත්තේය. ලංකාවේ එය වැඩියෙන්ම ඇත්තේ මහනුවර නගරයේ බව මින් පෙර හෙළිවිය. ‘ගහෙන් වැටුණු මහනුවර නගරවාසීන්ට ගොනා ඇන්නාවගේ වැඩක් ආරංචි වූයේ ගිය සතියේය. ඒ මහනුවර නගරයේ අසාමාන්‍ය ආකාරයට ක්ෂුද්‍ර ජීවීන් වැඩිවෙමින් තිබෙන බවය. එපමණක් නොවේ, මහනුවර නගරයේ වායු ගෝලයේ මිනිස් සිරුරට අධි අහිතකර නැනෝ පරිමාණයේ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වෙමින් තිබෙන බවද හෙළිවී තිබේ. මෙම කාරණා දෙක හෙළිවී ඇත්තේ මහනුවර හන්තාන මූලික අධ්‍යාපන ආයතනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ විද්වතුන් විසින් කරනු ලැබූ පර් යේෂණයකිනි. මේ අතරින් ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ පර්යේෂණය කරනු ලැබුවේ මහනුවර, හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ධම්මිකා මගනආරච්චි හා පර් යේෂණ ශිෂ්‍ය පවිත්‍ර මැදමාරන්දාවලය. ඔවුහු මහනුවර නගරය හා ග්‍රාමීය ප්‍රදේශ මූලික කර ගනිමින් මෙම පරීක්ෂණය කර තිබේ.

මහනුවර නාගරික වායු ගෝලයේ මෙම ක්ෂුද්‍ර ජීවී ඝනත්වය ඉහළ යෑමට ප්‍රධාන හේතුව නගරාශ්‍රිතව පවතින අධික වායු දූෂණය බව මහාචාර්ය ධම්මික මගනාආරච්චි පවසන්නීය. මහනුවර නගරයේ ගොඩනැගිලිවල බිත්ති අතර ඇති දිලීර, කසළ හා දූවිලි, වායු ගෝලයට ක්ෂුද්‍ර ජීවීන් මුදා හැරෙන ප්‍රධාන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙන එන්ටරෝබැක්ටර්, බැසිලස් මෝගනෙල්ලා, ඇසිනෙටෝබැක්ටර් ආදී ක්ෂුද්‍ර ජීවීන් ගහනය නාගරික වායු ගෝලයේ වැඩි වීම නිසා ඇස් කන් හා බහිස්‍රාවි පද්ධතිය ආශ්‍රිත අසාත්මිකතා මෙන්ම පෙණහලු පිළිකා, නිව්මෝනියාව ආදි රෝග උත්සන්න වීමේ වැඩි අවදානමක් පවතින බව මෙම පර් යේෂණය මගින් සොයා ගෙන තිබේ.

නිසියාකාර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය නොවූ කුඩා ළමුන්ට නිතර පවතින කැස්ස, ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බහුල වීමට මෙම තත්ත්වය හේතුවී තිබෙන බවද මහචාර්යවරිය ප්‍රකාශ කළාය.

මෙම ජීවීන්ගේ විශේෂත්වය වන්නේ අසාමාන්‍ය ලෙස පරිසර තත්ත්වයන්ට සරිලන ලෙස අනුවර්තනය වීමය. මිනිස් සිරුරේ ප්‍රතිශක්ති කාරකයන්ගෙන් ආරක්ෂා වීමට හැකි අංගෝපාංග ක්ෂුද්‍ර ජීවීන්ට ඇත.

සාමාන්‍ය ඖෂධවලට දක්වන ප්‍රතිචාරය අඩු නිසා මෙම ක්ෂුද්‍ර ජීවීන් මගින් හට ගන්නා රෝග සුව කිරීම අපහසු කරුණක් වී තිබෙන බව හෙළිවී තිබේ.

මහනුවර නගරය මේ සන්තෑසියට මුහුණ පා ඇත්තේ එය කඳු පන්තියකින් වටව තිබීම හේතුවෙන් අධික වායු දූෂණයට සෘජුවම ලක්ව අධික රථවාහන තදබදය මෙන්ම මහනුවර නගරය ආශ්‍රිතව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. මහනුවර නගරය ආශ්‍රිතව පාසල් රැසක් පිහිටා ඇති අතර එබැවින් පාසල් දරුවන් මෙන්ම වයස්ගත පුද්ගලයන් වැනි අය හට මෙමගින් වැඩි බලපෑම් විය හැකි බවද මෙම පර් යේෂණය මගින් හෙළිව ඇත.

මේ අතර මිනිස් ශරීරයට දැඩි අහිතකර නැනෝ පරිමාණයේ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් මහනුවර නගරාශ්‍රිත වායු ගෝලයේ ව්‍යාප්ත වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. පිටවල පවසයි.

මෑතකදී කළ පර් යේෂණයක් අනුව කොළඹ, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව Micro Scal Plastic ගණයට අයත් වන නැනෝ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් ව්‍යාප්තවී තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේ දී බරපතළ සෞඛ්‍ය අවදානමක් මතුවිය හැකි යැයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය වකවානුවේදී ඇස්බැස්ටෝස් තහනම් කළේ මිනිස් ශරීරයට හානිකර බව පවසමිනි. නමුත් මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඊටත් වඩා අහිතකර බව හෙළිවී තිබේ. ශීඝ්‍ර නාගරීකරණයෙන් යුතු ප්‍රදේශවල හා නගරබදව අහිතකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නැනෝ ප්‍රමාණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිකුත් වේ. පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඊට බෙහෙවින් අහිතකර අයුරින් දායකවී තිබේ.

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් වෙනස් වන පරිසර සාධක මත නැනෝ ප්‍රමාණයේ ප්ලාස්ටික් අංශු සකස්වීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බව මෙම පර් යේෂණයෙන් අනාවරණය වී තිබේ. නගරයේ දූවිලි සහිත ස්ථාන, ජල මාර්ග සහ අවසාදිත පාංශුවල විශාල වශයෙන් මෙම ප්ලාස්ටික් නිරීක්ෂණය වී ඇත.

ආශ්වාස කිරීම මෙන්ම ජලයට එක්වූ නැනෝ ප්ලාස්ටික් ආහාර මගින් ද මිනිස් ශරීරයට ඇතුළත් වේ. මෙම තත්ත්වය වළක්වා ගැනීමට විධිමත් පියවර ගත යුතුව ඇතැයි මහාචාර්ය ඒ. පිටවල සඳහන් කළේය.

වාහන බ්‍රේක් ලයිනර් සකස් කරන්නේද ඇස්බැස්ටෝස් විශේෂයකින් බව බවත් එයින් නිපදවන දූවිලි අංශු සහිත අපද්‍රව්‍ය නිවාසවල සෙවිලි තහඩුවලට වඩා බෙහෙවින් හානිකර බව කී මහාචාර්යවරයා පරිසරයට හානිකර ද්‍රව්‍ය පාලනයේදී විධිමත් විමර්ශනයක් අනුව අදාළ පියවර ගත යුතුව ඇතැයි කීවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළුව පර් යේෂණ කරන ආයතන වසර ගණනාවක් තිස්සේ සෞඛ්‍ය අවදානම් පවතින විවිධ අංශ පිළිබඳව දත්ත ගණනාවක් ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවදානය යොමුවන්නේ ඉතාම අල්ප වශයෙන් යැයිද මෙය ඉතා අවධානම් සහගත තත්ත්වයක් බවද මහාචාර්යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

– www.aruna.lk (කමල් සුරවීර -මහනුවර)