ඉන්දීය සාගර කළාපයේ පිහිටි චීයෙගෝ ගාර්සියා දූපත වෙත ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා හයක් පිටත් කර ඇතැයි එරට මාධ්‍ය ඊයේ (07 වැනිදා) වාර්තා කළේය. බී- 52 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානා මෙසේ ඩියෙගො ගාර්සියා දූපත වෙත පිටත් කර එවා තිබේ.

මෙම දූපත පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු සීමාවේ සිට කිලෝමීටර් 1925ක් දුරිනි.

ඉරානය සමග යුදමය තත්ත්වයක් ඇතිවුවහොත් එම මෙහෙයුම් සඳහා යොදා ගැනීමට මෙම ප්‍රහාරක යානා එවූ බව ඇමරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියකු ප්‍රකාශ කර තිබිණි. යුද විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඇමරිකාව සිය ප්‍රහාරක ගුවන් යානා ඉන්දීය සාගර කලාපයේ පිහිටි දියාගො ගාර්සියා දූපත වෙත එවා ඇත්තේ එක් විශේෂ හේතුවක් සහිතව බවය. එනම් දෙරට අතර යුදමය තත්ත්වයක් ඇතිවුවහොත් ඉරානයට පහසුවෙන්ම මෙම දූපතට ප්‍රහාර එල්ල කළ නොහැකි නිසාය. ඉරානය සහ ඩියෙගො ගාර්සියා දූපත අතර දුර කිලෝ මීටර් 1842කි.

ඉරානයට ආසන්න මැද පෙරදිග රටවල් කිහිපයකම ඇමරිකානු යුද කඳවුරු පිහිටා ඇත. යුදමය තත්ත්වයකදී ඉරානයට පහසුවෙන් එම කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ හැකි බව යුද විශේෂඥයන්ගේ අදහසය.

ඉරානය සමග හිතවත් රටක් වන ඉරාකය සිය රට තුළ සිටින සියලුම විදේශ හමුදා රටින් පිටවිය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කර ගත්තේය. එමෙන්ම ඇමරිකානු හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස වන යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුවද සම්මත කර ගෙන තිබේ.