සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (5 වැනිදා) ඉන්දියාවේ ගුවහාතිහි බර්සාපරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බර්සාපරා ක්‍රීඩාංගණයේ මේ දක්වා ජාත්‍යන්තර මට්ටමෙන් පවත්වා ඇත්තේ එක්දින තරගක් සහ විස්සයි විස්ස තරගයක් පමණි. එහිදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණු අදාළ විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට ජය හිමි විය.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා ඉන්දීය සංචාරයක නිරත වන්නේ 2017 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුවය. තිසර පෙරේරාගේ නායකත්වයෙන් ඉන්දිය සංචාරය සඳහා එක්වූ ශ්‍රී ලංකාවට එහිදී තරග 3-0ක පරාජයක් අත්විඳීමට සිදු විය.

මේ දක්වා ඉන්දියාව සමගින් සහභාගි වූ අවසන් විස්සයි විස්ස තරග 9න් ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබා ඇත්තේ එක් තරගයක් පමණක් වීම මෙහිදී සුවිශේෂී කාරණයක් විය.

මේ අතර ලසිත් මාලිංග අවසන් වරට නායකත්වය දැරූ විස්සයි විස්ස තරග 10න් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි. එබැවින් ලසිත් මාලිංගගේ නායකත්වය කෙරෙහි මෙම තරගාවලියේ ජය පරාජයන් බෙහෙවින් බලපානු ඇත.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක සහ භානුක රාජපක්ෂට මෙම තරගාවලියේ වැඩි වගකීමක් පැවරෙනු ඇත. මීට අමතරව දකුණු අප්‍රිකාවේ ම්සැන්සි ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායම නියෝජනය කළ සේම අයි.පී.එල්. තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට තෝරාගෙන තිබෙන ඉසුරු උදාන කෙරෙහිද වැඩි අවධානයක් යොමු වී තිබේ.

කලකට පසුව කණ්ඩායම හා එක් වූ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේදී පන්දු යැවීමෙන්ද සිය දායකත්වය කණ්ඩායමට ලබා දීමේ අපේක්ෂාවෙන් සිටී. තවදුරටත් විශ්වාසය තබමින් කුසල් මෙන්ඩිස්ව කණ්ඩායම ඇතුළත්ව සිටී. මෙන්ඩිස් අවසන් වරට සහභාගි වූ තරග 10දී ඉනිමක වාර්තාකළ වැඩිම ලකුණු 79ත් සමගින් ඔහු රැස්කරගෙන තිබෙන මුළු ලකුණු සංඛ්‍යාව 142කි. ඒ අතර ඉනිමක ලකුණු 10ට වඩා අඩුවෙන් දැවීගිය අවස්ථා 6ක් ඇතුළත් වේ.

ඉන්දියාවේ ප්‍රහාරත්මක පිතිකරු රෝහිත් ෂර්මාව එරට බලධාරීන් විසින් මෙම තරගාවලිය විවේක ගන්වා තිබේ. ඒ වෙනුවට ශිකර් ධවාන් කණ්ඩායමට එක්ව සිටින අතර ආබාධයකින් පසුව ඉන්දියාවේ ප්‍රධානතම වේග පන්දු තුරුම්පුවක් වන ජස්ප්‍රිට් බුම්රා කණ්ඩායමට කැඳවා තිබේ.

ඡායා – ඉෂාර එස් කොඩිකාර