තමාට එරෙහි දේශපාලන පළි ගැනීම්වලට බිය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2016 වසරේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කීරීම සම්බන්ධයෙක් පවත්වන විමර්ශනවලට අදාළ පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා අද (14) කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

එහිද ඔහු පැවසුවේ අදාල රිය අනතුර සරල රිය අනතුරක් බවයි.

කෙසේ වෙතත් මෙම රිය අනතුරට මුහුණ දුන් සන්දීප්ගේ දෙමව්පියන් පවසන්නෙ තමන් මේවන විට අදාල අනතුර හේතුවෙන් දැඩි පීඩාවට පත් වී සිටින බවයි.

එමෙන්ම රිය අනතුරට මුහුණ දුන් සන්දීප්ගේ පියා පැවසුවේ තම එකම දරුවා සුවපත් කර දිම සඳහා පසුගිය රජයෙන් කිසිදු සහයක් නොලැබුණ බවයි.

ඒ සම්බන්දයෙන් අදහස් දැක්වු අනතුරට ලක්වු සන්දීප් සම්පත් තරුණයාගේ මව පැවසුවේ අනතුරින් පසුව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා හමුවීමට ගියද එයින් ප්‍රතිපලයක් නොවුන බවයි.

පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජීප් රථයක සන්දීප් නම් තරුණයා ගැටී බරපතල තුවාල ලබන්නේ 2016 වසරේ පෙබරවාරි මස 28 වනදායි.

ආන්දෝලනයට තුඩුදුන් එම අනතුර තමන් විසින් සිදුකළ බව පවසමින් පසුව දිලුම් තුසිත කුමාර නැමැති පුද්ගලයෙකු පොලීසියට ඉදිරිපත් විය.

කෙසේ වෙතත් සන්දීප්ගේ මිතුරන් පසුව චෝදනා කළේ අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පාඨලී චම්පික විසින් පැදවූ බවයි.

එවන් පසුබිමක පාඨලී චම්පික රණවක මහතා අදාල නඩුවේ පාර්ශ්ව කරුවෙකු නොවන බව ප්‍රකාශ කරමින් ඔහුව එම නඩුවෙන් ඉවත් කරනු ලැබුවේය.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනවලට අදාලව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කළේය.

එම අනතුර සිදුවන අවස්ථාවෙ එහි රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර නැමැති පුද්ගලයාටද මහේස්ත්‍රාත් අධිකරණය විදෙස්ගත වීම තහනම් කර ඇත.