ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ජනතාව දැනුවත් කිරීම සඳහා පවත්වන ලද පාගමන ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර රැඳවියන් සහ ප්‍රජා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්වුණි. තවද රුධිර පරීක්ෂණ සිදු කිරීමේ විශේෂ සායනයක්ද මීට සමගාමීව කොළඔ නගර සභා එළිමහන් පරිශ්‍රයේ දී පැවැත්විණි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙසේ කීවේය. “අපේ අරමුණු 2025 වසරේ දී ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීම. ඒ සඳහා මවගෙන් ළදරුවාට ඒඩ්ස් වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ලෝක ප්‍රජාවට වගේම ශ්‍රී ලාංකීය ප්‍රජාවට මේ රෝගය පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. අද වන විට ආසාදිතයන් 3500 පමණ සිටින බවට වාර්තා වනවා. වසරකට නව ආසාදිතයන් 200 ක් පමණ වාර්තා වෙනවා. ආසාදිතයන් හඳුනාගැනීමේ වැඩසටහන ද සාර්ථකව අප රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව වැනි රටවල විශාල ජනගහනයක් සිටියදී මෙම රෝග පැවතියත් අප රටට හැකිව තිබෙනවා මෙම රෝගය පාලනය කිරීමට. මෙම රෝග තුරන් කළ පසු එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අපේ සෞඛ්‍ය වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය වෙනවා.”

රෝගය මුලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළින් එච්.අයි.වී. වෛරසය ඒඩ්ස් තත්ත්වයට පත්වීම වළක්වා ගතහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට එච්.අයි.වී. මාරාන්තික වෛරසයක් ලෙස හඳුනාගෙන නැත. මෙම රෝගය වැඩි වශයෙන් වාර්තා වන්නේ පිරිමි-පිරිමි ලිංගික සම්බන්ධතා පවත්වන අය අතරය.

එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත හැක්කේ එච්.අයි.වී. සඳහාම කෙරෙන රුධිර පරීක්ෂණයක් මගින් පමණ යි. වෛරසය ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු නිසි ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වෛරසය ආසාදිත පුද්ගලයන් හට ගුණාත්මක ජීවිතයක් ගතකළ හැකියි.

රජයේ රෝහල්වල දී ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නොමිලේ ලබා ගැනීමට හැකියාවක් පවතී. 2004 වසරේ සිට රජයේ රෝහල්වල මේ ප්‍රතිවෛරස් ඖෂධ ලබාදීම ක්‍රියාත්මක යි. තනි පෙත්තක් හෝ පෙති කීපයක් ලෙස ඇති මේ ඖෂධ ප්‍රතිකාරවලින් ඇතිවන අතුරු ආබාධ අවම වන අතර ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ වන බැවින් අනිසි බියක් ඇතිකර යුතු නැත. ලිංගාශ්‍රිත රෝග සායනවල කාර්ය මණ්ඩලය මගින් රෝගීන්ගේ රහසිගත බව ආරක්ෂා කර ගනිමින් නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව හිමිව ඇත.

නිසි ප්‍රතිකාර සහ සේවා නිසි කලට ලබා ගන්නා එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් මගින් රෝගය බෝවීම ද වැළකේ. දිවයින පුරා ඇති රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායනවල සතියේ දිනවල පෙරවරු 8.00 සිට 4.00 දක්වා ද සෙනසුරාදා දින පෙ.ව. 8.00 සිට 12.00 දක්වා ද එච්.අයි.වී. සායන පැවැත්වේ.

LEAVE A REPLY