අංක තහඩු වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් සවිකර ගමන් කරන බෙන්ස් රියක් ඔබ දැක ඇතිද? එසේ දැක ඇතිනම් ඔබට පෙබරවාරි හතරවැනිදා ජාතික නිදහස් උළෙලට අන්තිමට එන ප්‍රභූවරයාගේ වාහනය බැලුවේ නම් රාජ්‍ය ලාංඡනය එහි සවිකර ඇති බව දැකගත හැකිය. අංක තහඩු වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර ඇති එම මෝටර් රිය වෙන්කර ඇත්තේ එක් අයකුට පමණි. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටය. ජනපතිවරයා යන වාහනයේ රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට රාජ්‍ය මුද්‍රාවේ නිල හිමිකරුවා ඔහු වන නිසාය. කෙසේ නමුදු 1972 වනතුරා එසේ රාජ්‍ය ලාංඡනයක් සවිකරගෙන යාමට ලංකාවේ පුරවැසියකු සිටියේ නැත. හැත්තෑ තුන වනතුරු ලංකාවේ රාජ්‍ය නායිකාව වූයේ බ්‍රිතාන්‍ය මහ රැජිණ වූ බැවිනි. එකල ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ ඉහළින් තිබුණේ ධර්ම චක්‍රයක් නොව ඔටුන්නකි.

ඔටුන්න ගලවා එතැනට ධර්ම චක්‍රය සවි කර අලුත් රාජ්‍ය ලාංඡනය ඇන්දේ 1972 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම නිදහස ලැබූ මොහොතේය.

ඒ සඳහා කමිටුවක් පත් ‌කෙරිණි. එය රාජ්‍ය ලාංඡන කමිටුව නමින් නම් කළ අතර එහි සභාපතිත්වය දැරුවේ එවකට සංස්කෘතික අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් වූ නිශ්ශංක විජේරත්නය. සෙසු සාමාජිකයන් වූයේ පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන, මැතිනියගේ පෞද්ගලික ලේකම් මැකි රත්වත්ත, ආචාර්ය නන්දදේව විජේසේකර, එච්. ආර්. ප්‍රේමරත්න හා ආචාර්ය රෝලනඩ් ද සිල්වා හා මහගමසේකරය.
කමිටුව පත් වීමෙන් පසුව ජනරජ ලාංඡනය නිර්මාණය කිරීම පිළිබඳ දන්වමින් පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ ජනරජ ලාංඡනය සඳහා ජනතා නිර්මාණ භාර ගන්නා බව කියමිනි. මසක කාලයක් තුළදී ඔවුනට තම අරමුණට ගැළපෙන තරමේ නිර්මාණයක් නොලැබිණි.

කමිටුව දැඩි අපහසුතාවට පත් විය. ඒ ඔවුනට ලාංඡනය නිර්මාණකරණය සඳහා කාලවේලා නොමැතිකමය. කමිටු සභාපති නිශ්ශංක විජේරත්න, මහාචාර්ය සෙනරත් පරණවිතාන හා ආචාර්ය රෝලන්ඩ් සිල්වා අවසානයේ මේ සඳහා පුද්ගලයකු තෝරා ගත්හ. ඔහු එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියකු ලෙස රාජකාරි කරමින් සිටි ඇස්. ඇම්. සෙනෙවිරත්නය. ඔහු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොන්සියලර් අංශය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තරුණ බෞද්ධ සමිති ලාංඡනය ශ්‍රී මහා බෝධියේ රන් වැට නිර්මාණය කිරීම, ශ්‍රී ලංකා ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලාංඡනය, මන්නාරම් දිස්ත්‍රික් කොඩිය, කොළඹ විශ්වවිද්‍යාල ලාංඡනය නිර්මාණය කර තිබිණි. මේ චරිත සහතික නිසා විද්වත් කමිටුවේ පැවති විශ්වාසය ඔහු දිනා ගත්තේය.

ඇස්. ඇම්. සෙනෙවිරත්නට මෙම කාර්යය භාරදීමේදී කමිටුව උපදෙස් රාශියක් දුන්නේය. ඒ ආගම, ජාතිය, අපේකම, කෘෂිකර්මාන්තය. රටේ අනන්‍යතාව පිළිඹිබු වන ආකාරයට මෙය නිර්මාණය කළ යුතු බවටයි. ලාංඡනය නිර්මාණකරණය සෙනෙවිරත්නයන් වෙත ලැබීමත් සමගම ඔහු ඉතා කාර්යබහුල විය. ඔහුගේ එම කාර්යබහුලත්වය සියැසින් දුටු අයකු අද ද සිටින්නේය. ඒ, ඇස්. ඇම්. සෙනෙවිරත්නගේ බාල පුතා වන ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනෙවිරත්නය. ඔහු පදිංචි වී සිටින්නේ සිය පියා රාජ්‍ය ලාංඡනය ඇඳි ගොතටුවේ මහ ගෙදරය.

‘‘මේ ලාංඡනය ඇඳලා ඉක්මනට ලබාදෙන්න කියලා තාත්තට කමිටුව කියලා තිබෙනවා. තාත්තට මෙය භාරදෙන විට මැතිනිය කියලා තිබෙනවා, සෙනෙවිරත්න මහත්තයා මොනවා නැතත් ධර්ම චක්‍රය නම් ලාංඡනයේ උඩින්ම තිබෙන්න ඕන කියලා. නිශ්ශංක විජේරත්න මහත්තයාගේ ​යෝජනාවක් තමයි ඉරහඳ මෙයට ඇතුළත් වෙන්න ඕන කියන එක. මේ කමිටුවම විවිධ යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. ඒ වාගේ තමයි මෙහි උපදේශකවරයකු සිටි මාපලගම විපුලසාර හිමියන් මෙහි වර්ණ පිළිබඳ උපදෙස් දීලා තිබුණා. මේ අනුව මුල් සැලැස්ම ඇඳලා තාත්තා දීලා තිබෙනවා.’’

එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි ආචාර්ය රොලන්ඩ් සිල්වාගෙන් සෙනෙවිරත්නයන් වෙත කෙටි ලිපියක් ලැබුණේය. එහි සටහන්ව තිබුණේ 1972 මැයි දින පෙරවරු 10.30 ට මැතිනිය විසින් සෙනෙවිරත්නගේ ලාංඡනය තෝරාගත් බවත්, ඒ වෙනස්කම් කිහිපයකට යටත්වය.

‘‘මට මතකයි රෝලන්ඩ් සිල්වා මහත්තයා මේ ලියුම එවලා පසුව තාත්තා නිර්මාණය අවසන් කරන්න වෙහෙසුන අන්දම. ඒ වෙනකොට මට අවුරුදු දහයක් විතර ඇති. තාත්තා රාත්‍රී දෙකක් නිදි වරාගෙන මේක ඇන්දා. අන්තිම දවසේ මේ කමිටුවේ බොහෝ අය අපේ ගෙදර එනවා යනවා. තාත්තාත් එක්ක කතා කරනවා. අපේ ගෙදර ඉස්සරහම තියෙන කාමරයේ තමයි මේ හැම සාකච්ඡාවක්ම වුණේ. තාත්තා දවස් දෙකක් නිදිවරාගෙන ලාංඡනය නිර්මාණය කරලා ගිහිල්ලා මැතිනියට භාර දුන්නා. එය භාර දුන්නට පසුව මැතිනිය ‘‘මෙම සැලැස්ම ශ්‍රී ලංකා ජනරජයේ ලාංඡනය වශයෙන් අනුමත කරමි’’ කියලා අපේ තාත්තාටම ලාංඡනයේ වම් පැත්තේ ලියන්න කියලා අත්සන් කළා. අගමැතිනිය සටහන් කරලා දිනය යොදලා තිබෙන්නෙත් තාත්තාමයි.

අගමැතිනිය එසේ අත්සන් කරලා ඉවර වුණාම රෝලන්ඩ් සිල්වා මහත්තයට කියලා තියෙනවා මේකෙම වම් පැත්තේ නිර්මාණ ශිල්පියාගේ නමත් එක්ක අත්සන දාලා මුල් පිටපතක් හැටියට ජාතික ලේඛනාගාරයට යවන්න කියලා. නමුත් තාත්තා ඒ වෙලාවේ කියලා තිබෙනවා මම කොහොමද මෙච්චර ලොකු දෙයකට මගේ අත්සන හරි හරියටම වම් පැත්තේ දාන්නේ, රටේ රාජ්‍ය නායිකාවත් එක්ක’’ කියලා. පස්සේ තාත්තා ඒ ලාංඡනය ඇඳපු කොළේ පිටිපස්සේ අඳින ලද්දේ ඇස්. ඇම්. සෙනෙවිරත්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,කොළඹ 7 කියලා ලියලා 1972.06.12 කියලා දිනය දාලා තිබෙනවා. අදටත් මෙහි මුල් පිටපත රාජ්‍ය ලේඛනාගාරයේ සුරක්ෂිතව තිබෙනවා’’ ඔහු කීවේය. ලාංඡනය නිර්මාණයෙන් පසුව ඇස්. ඇම්. සෙනෙවිරත්නට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්ගේ අත්සනින් යුතුව ලිපියක් ලැබුණේය. ඒ, ලාංඡනය නිර්මාණය කිරීම වෙනුවෙන් ස්තුතිය පුද කිරිමටය.

සෙනෙවිරත්න සූරීන් ලාංඡනය නිර්මාණකරණයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කළද එය නිර්මාණයෙන් පසුව ලාංඡනයෙහි තිබෙන සංකේත පිළිබඳ මහත් උනන්දුවෙන් කතා කොට තිබේ.

‘‘තාත්තා ඒ දවස්වල ගෙදර එන එන අයට ලාංඡනය පෙන්වලා විස්තර කළා. ඒක විනෝදාංශයක් වුණා. මේ තිබෙන්නේ ඉරහඳ, ඉරහඳ තිබෙන තාක් කල් ජාතිය පවතිනවා කියලා කියනවා. මේ පුන්කළසින් හා වී කරල් දෙකෙන් අපේ රටේ ස්වයංපේෂිත බව, ජාතියේ සෞභාග්‍යය බව පවසනවා. පලාපෙතිවලින් ශ්‍රී ලාංකික ජාතියේ පාරිශුද්ධත්වයයි. සිංහල ජනතාව පිළිබඳ තමයි මැද තිබෙන සිංහයාගෙන් පෙන්වන්නේ. අනෙක් වර්ණවලින් ඒ කියන්නේ නිල්වලින් කියන්නේ හරිම නිදහස් බව. අපේ රටේ ඕනෑම ජාතිකයකට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි මේ කහ සහ නිල් වර්ණයෙන් කියන්නේ කියලා තාත්තා හැමෝටම කියනවා. ඒ වාගේ මේ සියලුම දේවල් ධර්මය පෙරටුකරගෙන පවතින්නේ කියලා ධර්ම චක්‍රය පෙන්වලා කියනවා. තාත්තා ධර්මය හා ආගම කියන දෙක හොඳින් තේරුම් අරගෙන හිටියා.’’

ලාංඡනය නිර්මාණය කිරීමේදී හැඩය මේ ආකාරයට නිර්මාණය වී ඇත්තේ සෙනෙවිරත්න සූරීන්ගේ පෙර පැවති දැනුමට අනුවය. මේ පිළිබඳ ඉන්ද්‍රජිත් සෙනෙවිරත්න අපට පැවසුවේ මෙලෙසිනි.

මේ හැම දෙයකම පදනම ඉරයි – හඳයි මේ මිහිකතක පැවැත්ම තිබෙන්නේ ඉර හඳ තිබෙන තාක්කල් මෙය ප්‍රකාශ කරන්න තමයි තාත්තා ඉරහඳ ලාංඡනයෙහි පාදමට යොදාගෙන තිබෙන්නේ. තාත්තා කියනවා මේ රටේ ගෘහ නිර්මාණයේ පදනම නෙළුම් මල කියලා. නෙළුම් මලෙහි එක් ස්වරූපයක් තමයි මෙහි පාදම කොටසෙහි වක්‍ර දෙකට යොදාගෙන තිබෙන්නේ. මේ ලාංඡනය අනිත් පස හැරවූ විට අපට නොපෙනෙන නෙළුම් මලක් තිබෙනවා.’’

ලාංඡනය ප්‍රසිද්ධ වීමෙන් පසුව ඇස්. ඇම්. සෙනෙවිරත්න ශූරීන්ට බොහෝ විවේචන එල්ල විය. මෙහිදී කමිටු උපදේශකවරයකු ලෙස සිටි මාපලගම විපුලසාර හිමියෝ සෙනෙවිරත්නයන්ට එරෙහිව බොහෝ විවේචන එල්ල කළහ. ස්වාමීන් වහන්සේගේ ප්‍රබලම විවේචනය වූයේ පුන් කළසෙහි ඉහළින් හරි මැදට වන්නට ඩබ්ලිව්. අකුරක් තිබෙන බවය.
‘‘හාමුදුරුවෝ ඒ කාලේ කියලා තිබුණා සෙනෙවිරත්න මේ ඩබ්ලිව් අකුරින් හඳුන්වා තිබෙන්නේ බණ්ඩාරනායක මහත්තයාගේ ඩබ්ලිව් කියන අකුර කියලා. නමුත් එතැන තාත්තා යොදලා තිබෙන්නේ පලාපෙති අගට තිබෙන මෝස්තර නිර්මාණයක්.’’
ඔහුට විරුද්ධව එල්ල වූ තවත් විවේචනයක් වූයේ සෑම විටම වම් පැත්තෙහි තිබෙන්නේ ඉර මිසක් හඳ නොවන බවය.

‘‘තාත්තා යොදා තිබුණේ චන්ද්‍ර සූර්ය කියන සංකල්පය මුල්කරගෙනය. ජ්‍යොතිෂයේ පවා කියැවෙන්නේ චන්ද්‍ර සූර්යා කියලා. ඉපැරණි කොඩිවල පවා තිබුණේ මේ ආකාරයටය. ඒ වාගේම සෞම්‍ය දෙයට මුලට යෙදීම ලෝක චාරිත්‍රයක් කියලා අපේ තාත්තා මේ විවේචනය එල්ල වූවන්ට පෙන්වා දුන්නා. ඒ වාගේම මැතිනිය රාජ්‍ය නායිකාව නිසා සෞම්‍ය දෙයට මුල් තැන දුන්නා කියලත් කිව්වා.’’

මෙම ලාංඡනයට විරුද්ධව තවත් විවේචනයක් එකල එල්ල වී තිබේ. ඒ සිංහයාගේ ලිංග ප්‍රශ්නයක් ඇති බවකි. සිංහයා නපුංසකයකු බවට එකල විවේචනය එල්ල වී තිබේ.
‘‘තාත්තා සිංහයාගේ ලිංගේන්ද්‍රය සියුම් ඉරකින් පෙන්නලා තිබෙනවා. නමුත් ඒක නොපෙනුණු පිරිස එලෙස විවේචන එල්ල කරලා තිබුණා. නමුත් තාත්තා එයත් ඔප්පු කරලා පෙන්නුවා.’’

රාජ්‍ය ලාංඡනය නිර්මාණය කිරීමෙන් පසුව රජයේ කච්චේරි, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ හා පළාත් පාලන ආයතනවලට මෙම ලාංඡනය ලබා දීමට නියම විය. ඒ ලීයෙන් නිර්මාණය කිරීමෙනි. ලාංඡනය රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින් ඒවා නිර්මාණය කර තිබේ. ඒ සෙනෙවිරත්නයන්ගේ හා රෝලන්ඩ් සිල්වාගේ උපදෙස් මතය.

‘‘මෙම ලාංඡන රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙන් හදලා අපේ ගෙදරට ගෙනාවා. තාත්තා ගෙදර තියාගෙන තමයි මේවා ඇන්දේ. වර්ණ ගැන්නුවේ. අපිත් ඇවිල්ලා ඒ දවස්වල මේවාගේ වර්ණ යෙදුවා. ඉතා විශාල ප්‍රමාණයේ ලී ලාංඡන දෙකක් නිර්මාණය කළා. එකක් පරණ පාර්ලිමේන්තුවට. පසු කලෙක අනෙක් එක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එල්ලුවේ. අදටත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ ඒ ලාංඡනය තිබෙනවා. පොඩි සයිස් ඒවා විසි ගණනක් හැදුවා. තරමක් ලොකු ඒවා පහළවකුත් විශාල ප්‍රමාණයේ ඒවා දෙකකුත් හැදුවා. අපේ ගෙදර පොඩි ප්‍රමාණයේ එකක් දැනටමත් තිබෙනවා.

ලාංඡනය ඇඳීමේදී භාවිත කළ පුවරුව ඇතුළු තවත් බොහෝ දේ පොළොන්නරුව ජයන්තිපුර ඔහු වෙනුවෙන් ඉදිකර තිබෙන කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
ඇස්. එම්. සෙනෙවිරත්න විශ්‍රාම ගතවන්නේ පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයකු ලෙසය. ඒ 1981 වසරේය. ඔහු කලාපති, කලාභූෂණ හා පුරාවිද්‍යා චක්‍රවර්තී නාමයන්ගෙන්ද පිදුම් ලැබුවේය. 2012 වසරේ ජූලි 03 වැනි දින ඔහු දැයෙන් සමුගත්තේය.

ශිරෝමි රත්නායක
ඡායා : ඒෂාන් දසනායක

LEAVE A REPLY