මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වන දෙමළ රාජ්‍ය පක්ෂය හෙවත් තමිල් අරසු කච්චි පෙරේදා (03 වැනිදා) සවස නිවේදනය කළේය. තමන්ද සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බව දෙමළ ජාතික සන්ධානයේ තවත් පක්ෂයක් වන ප්ලොට් සංවිධානයද ඊයේ (04 වැනිදා) දහවල් ප්‍රකාශ කළේ ය. එම සන්ධානයේ ඉතිරි පක්ෂය වන ටෙලෝ සංවිධානය ​ඊයේ සවස සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

දෙමළ ජාතික සන්ධානයේ සහාය සජිත් ප්‍රේමදාසට හිමිවන බව කවුරුත් මුල සිටම දැන සිටි කරුණකි. දෙමළ ජාතික සන්ධානය 2015 යහපාලන ආණ්ඩුව බිහි කිරීමට හවුල් වූ ප්‍රධාන පක්ෂයක් වන බැවිනි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා ඔවුන් විපක්ෂ නායක ධුරය හිමිකරගෙන සිටියේ ආණ්ඩුවේ අනුග්‍රහයෙනි. මේ දක්වාම නිල නොවන ලෙස ඔවුන් කටයුතු කරන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වශයෙනි.

එහෙත් මෙවර ඔවුන් ආණ්ඩුවේ ජනාධිපතිධුර අපේක්ෂකයාට සහාය දෙන්නේ අමුතුම ආකාරයකටය. ජනාධිපතිවරණයේදී පළමුවෙන්ම ප්‍රධාන අපේක්ෂකයාට කොන්දේසි ඉදිරිපත් කර සිටියේ දෙමළ ජාතික සන්ධානය නොව උතුරේ වෙනත් පක්ෂ එකමුතුවකි. එහෙත් ඔවුන් ඉදිරිපත් කළේ දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසිමය. මෙම කොන්දේසි 13 ඉදිරිපත් කළ පක්ෂ 5 අතරට දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ තුනම ඇතුළත්ය.

ඔවුන් මේ යෝජනා ඉදිරිපත් කළේම කිසිම ජනාධිපති අපේක්ෂකයකු ඒවා පිළිනොගන්නා බව දැන දැනම බව ඉතා පැහැදිලිය. දැන් ඔවුන් වෙනත් මාර්ගයකින් පැමිණ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කොට තිබේ. එයද වෙනස් ආකාරයකටය. පක්ෂ තුනකින් යුත් දෙමළ පක්ෂ සන්ධානය තම තීරණය ප්‍රකාශයට පත් කරන්නේ සන්ධානයක් ලෙස නොව තනි තනි පක්ෂ වශයෙනි.

දෙමළ පක්ෂ සන්ධානය මෙලෙස වෙන් වෙන්ව පක්ෂ ලෙස තම තීරණය ප්‍රකාශයට පත් කරන්නේ ඔවුන්ගේ අර්බුදයක් ලෙස වටහාගත යුතු නැත. එය ඔවුන් ඉතා හොඳින් දැනුවත්ව සිතාමතා කළ දෙයකි. දෙමළ ජාතික සන්ධානය යනු වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින හා තවමත් එම මතයේම සිටින පක්ෂ සන්ධානයකි. එවැනි සන්ධානයක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව ප්‍රකාශ වුවහොත් ඉන් දකුණේ ඡන්දයට බලපෑමක් ඇතිවනු ඇතැයි යන සැකය ඊට හේතු වන්නට ඇත.

ඊට හේතු වූ තවත් කාරණයක් ලෙස පෙනී යන්නේ දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන්නට පටන්ගෙන තිබීමය. සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට පිටත්ව යන දෙමළ සන්ධාන නායකයන්ට උතුරේ අතුරුදන් වූවන්ගේ දෙමාපියන්ගේ සංගමයෙන් සෙරෙප්පු ප්‍රහාරයක් එල්ලවීම ආසන්නතම සිදුවීමය.

වැදගත්ම කාරණය වන්නේ කුමන ස්වරූපයකින් හෝ දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන්නේ කුමන කොන්දේසි යටතේද යන්නය. තමන් සජිත් ප්‍රේමදාසට සහාය දෙන බව කියන දෙමළ සන්ධානය ඒ ගැන කිසිදු සඳහනක් කර නැත. ඔවුන් පවසන්නේ ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යයනය කිරීමෙන් පසු මේ තීරණයට එළඹි බවය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ බලය බෙදීම සම්බන්ධයෙන් ඇත්තේ ඉතා කෙටි වාක්‍ය කීපයකි. එහෙත් ඒවා තුළ බරපතළ ඇඟවීමක් තිබේ. නොබෙදුණු හා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීමක් ක්‍රියාත්මක කෙරේ යනුවෙන් එහි සඳහන් කොට ඇත. එසේම පළාත්වලට අවශ්‍ය මුදල් රැස්කිරීමට හා මේ වන විට බෙදාහැර ඇති බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ද ලැබෙනු ඇත යනුවෙන්ද සඳහන්කොට තිබේ. එහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

‘‘බලය බෙදා හැරීමේ ඒකක සම්බන්ධයෙන් එකඟවිය හැකි පරිදි අවශ්‍ය වෙනස්කම් කිරීමෙන් අපි බලය බෙදා ගැනීම වඩාත් අර්ථවත් හා පිරිවැය කාර්යක්ෂම කරන්නෙමු.’’

දැන් මේ කියන අන්දමට උපරිම බලය බෙදාහැරීම යනු කුමක්ද? එහි සීමාව කොතැනද? පළාත් සභාවලට මුදල් වැයකිරීමට බලය දීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? විදේශයන්ගෙන් ආධාර ලබා ගැනීමද? දැනටමත් බෙදාහරින ලද බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ලබාදීම යන්නෙන් අදහස් කරන්නේ පොලිස් හා ඉඩම් බලතල වැනි බලතල දීමද? බලය බෙදා හැරීම සම්බන්ධයෙන් එකඟවිය හැකි පරිදි අවශ්‍ය වෙනස්කම් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එවැනි වෙනස්කම් ගැන දැනටමත් සාකච්ඡා කොට තිබේද? එසේ නම් ඒ කරුණු සවිස්තරාත්මකව සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර නැත්තේ ඇයි?

මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුත්තේ මේ මස 17 වැනිදා සිට මෙරට ජනාධිපතිවරයා වන්නට සිටින සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු මේ වන විට ප්‍රකාශ කොට ඇත්තේ තමන් කිසිවකුගේ කොන්දේසිවලට යටත් නොවන අතර, තමන් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේම ප්‍රතිපත්ති බවය.

උතුරේ පක්ෂ 5 ක් ජනාධිපති අපේක්ෂකයන් ඉලක්ක කර කොන්දේසි 13 ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඒවා එකහෙලාම ප්‍රතික්ෂේප කළේය. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා ඒ යෝජනා පිළිගන්නා බවක් හෝ ප්‍රතික්ෂේප කරන බවක් ප්‍රකාශ කළේ නැත.

එහෙත් දැන් දෙමළ සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කොට තිබේ. ඒ වෙනුවෙන් ඔහු දෙමළ සන්ධානයට දුන් පොරොන්දු මොනවාදැයි ඔහු රටට ප්‍රකාශ කළ යුතුය. දෙමළ ජාතික සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් වූයේ ඊයේ පෙරේදා වුවත් එම එකඟතාව ඇතිවූයේ ඊට සෑහෙන කලකට පෙරය. සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කළේ කොළඹදී නොව උතුරේදීය.

කිසිදු පක්ෂයක් සමග ගිවිසුම්වලට පැමිණෙන්නේ නැතැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කොට ඇතත්, එවැනි එකඟතාවකින් තොරව ඔවුන්ගේ අපේක්ෂකයාට සහාය දෙන්නට දෙමළ ජාතික සන්ධානය එකඟවනු ඇතැයි පිළිගැනීමට අසීරු කරුණකි.

2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර රහස් ගිවිසුමක් ඇතැයි ප්‍රසිද්ධියේ චෝදනා කළේ එජාපයේ හිටපු ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායකය. ඒ කියූ අන්දමට දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක්වූ අතර ඉන්පසු ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය කටයුතු කළේ කෙසේද යන්න කවුරුත් දන්නා කාරණාය.

මේ අනුව ජනතාව සැක කරන්නේ මෙවරද එජාපය හා දෙමළ ජාතික සන්ධානය අතර එවැනි රහස් ගිවිසුමක් තිබෙන්නට හැකි බවය. එවැනි ගිවිසුමක් හෝ එකඟතාවක් තිබේ නම් ඒ බව නොවැම්බර් 16 දාට පෙර දැන ගැනීමට උතුරේ මෙන්ම දකුණේද ජනතාවට අයිතියක් තිබේ. ඒ අයිතිය සහතික කළ යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා හා දෙමළ ජාතික සන්ධානය විසිනි.

LEAVE A REPLY