මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ස්ථාවර කරන්නට ඉදිරියට තැබූ අඩිය පසු පසට ගන්නට ආණ්ඩුවට සිදුව තිබේ. මහා සංඝරත්නයේ හා ජනතාවගේ විරෝධය හේතුවෙනි. මේ තත්ත්වය ගිවිසුමට විරෝධය පළ කළ පාර්ශ්වයන්ගේ සතුටට හේතුවිය හැකි වුවත් ආණ්ඩුව ඉන් කෝපයට පත්ව සිටින බව ඇතැම් ඇමැතිවරුන්ගේ හා ඔවුන්ගේ දීමනා ලබන සමාජ මාධ්‍යකරුවන්ගේ කියන කරන දේවලින් පෙනෙන්නට තිබේ.

ඒ බව පැහැදිලි වන්නේ ඔවුන් ගිවිසුමට එරෙහි පාර්ශ්වයන්ට එල්ල කරන විවේචන දකින විටය. එහෙත් මේ විවේචන හඳ පෙන්නූ විට ඇඟිල්ල දිහා බලන පන්නයේ ඒවාය. ඔවුන් ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙන්නේ නැත. ඒ වෙනුවට විවේචකයන්ට බැණ අඬ ගසති. අපහාස උපහාස කරති. මඩ ගසති.

ආණ්ඩුවේ මේ වෛරී සහගත ව්‍යාපෘතියේ මූලිකයා වන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීරය. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අහෝසි කරන්නැයි ඉල්ලා උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ (06) උපවාසයක් ආරම්භ කළ විට මුදල් අමාත්‍යවරයා මෙවැනි ට්විටර් සටහනක් තබා තිබුණි.

‘‘MCC වැනි රාජ්‍ය ප්‍රදාන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සම්මත රීතියයි. වැඩසටහන්වල අයිතිය සඳහා පාර්ලිමේන්තු අයිතිය වැදගත් වේ. එම නිසා ගෝඨාභය රාජපක්ෂගේ කුලී උපවාසකරුවන් මේ සම්බන්ධයෙන් ලෙමන් පෆ් ගබඩා කිරීමට අවශ්‍ය වන්නේ නැත.’’

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය බව මංගල සමරවීර කියන්නේ දැන්ය. ඔවුන්ගේ සැලසුම වී තිබුණේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එය සම්මත කිරීමටය. එහෙත් ඒ සැලසුම වැළකී ගිය නිසා කෝපයට පත්ව සිටින මංගල සමරවීර අමාත්‍යවරයා කාශ්‍යප හිමියන්ව හඳුන්වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කුලී කරුවා ලෙස අපහාසාත්මකවය.

මංගල සමරවීර අමාත්‍යවරයා කාශ්‍යප හිමියන්ව කුලීකරුවකු ලෙස ආමන්ත්‍රණය කරමින් යටපත් කරන්නට උත්සාහ කරන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ ඇති සත්‍ය ජනතා විරෝධයයි.

මංගල සමරවීර අමාත්‍යවරයා උඩුනුවර කාශ්‍යප හිමියන්ට අපහාස වන අන්දමින් කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වන තවත් කාරණයක් තිබේ. එනම් මේ ආණ්ඩුව ශ්‍රී ලාංකික ජාතික අනන්‍යතාවේ පදනම වන සිංහල, බෞද්ධ සංස්කෘතික පදනමට එල්ල කරන ප්‍රහාරයයි.

බටහිර යටත් විජිතවාදීන්ද අප රට යටත් කර ගන්නට පෙර පුපුරුවා හරින ලද්දේ වසර දහස් ගණනක් තිස්සේ රටේත්, ජනතාවගේත් ශක්තිය වූ බෞද්ධ දර්ශනයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලාංකීය සංස්කෘතියයි. පන්සල් කඩා බිඳ දමමින්, බෞද්ධ ආගමික උත්සව තහනම් කරමින්, බෞද්ධයන් ඔවුන්ගේ ආගම්වලට බඳවා ගනිමින්, සිංහල, දෙමළ ජාතීන් අතර භේද ඇති කරමින් ඔවුන් ගෙන ගිය මේ ව්‍යාපාරයේ අවසන් ප්‍රතිඵලය වූයේ අප රටට ශත වර්ෂ හතරකට අධික කාලයකට ස්වාධීනත්වය, ස්වෛරීභාවය, නිදහස අහිමිව යෑමය.

වසර 71කට පෙර අප බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහසක් ලබා ගත්තේ යැයි කීවත් ඔවුන්ගේ බලපෑමෙන් මුළුමනින් මිදෙන්නට අප රටක් ජාතියක් ලෙස අසමත්ව තිබේ. එවන් උත්සාහයක් දරන අවස්ථාවල කුමන හෝ කුමන්ත්‍රණයක් මගින් එය අඩාළ කිරීමට ඔවුහු කටයුතු කරති. 2015 ජනවාරි 08 දා මෙරට සිදුවූයේද එවැනි දෙයකි.

එතැන් සිට මෙරට ක්‍රියාත්මක වූයේ ජාතික න්‍යාය පත්‍රයක් නොව ඇමෙරිකානු හා බටහිර න්‍යාය පත්‍රයකි. බෞද්ධාගමට පහරදී ඊට ඇති සමාජ පදනම, ශක්තිය බිඳ දැමීම එම න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ගත වූ කාලය තුළ ආණ්ඩුවේ තීන්දු තීරණ හා හැසිරීම් සියුම්ව නිරීක්ෂණය කළ විට පැහැදිලි වේ.

ශ්‍රී ලංකාව නිරාගමික රටක් බවට පත් කළ යුතුය යන මතය සමාජ ගත වන්නේ ඒ අනුවය. නිරාගමික වාදය වෙනුවෙන් මුහුණු පොතේ පෙනී සිටින සියලු දෙනා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින අය බවට පත්ව ඇත්තේ ඒ අනුවය.

සැබෑ නිරාගමිකයන් නම් කිසිදු ආගමකට, විශ්වාසයකට පහර නොදෙතත් අපේ නිරාගමිකයෝ බෞද්ධාගමටත්, භික්ෂූන් වහන්සේටත් බෞද්ධයන්ටත් එළව එළවා පහර දෙති. අපහාස උපහාස කරති. මංගල සමරවීර යනු මේ රටේ බෞද්ධ පදනම කඩා සුනු විසුණු කිරීමේ බටහිර කොන්ත්‍රාත්තුවේ මෙරට නියෝජිත කල්ලියේ ප්‍රධානියා බව සිතෙන්නේ ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටින තරම් අනුවය. ඔහු පුන පුනා කියන්නේ මේ රට බෞද්ධ රටක් නොවන බවය.

පන්සලේ පිං පෙට්ටියටත් බදු ගැසූ මේ ආණ්ඩුව ස්වාමීන් වහන්සේලාට අයුතු චෝදනා නගමින් සිරගත කරන්නට පවා දෙවරක් සිතුවේ නැත. සමරිසි විවාහ නීතිගත කරන්නට, කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්නට නීති සම්පාදනය කිරීමට යෝජනා කෙරෙන්නේද මංගලලාගේ ප්‍රධානත්වයෙනි. මේ සියලු දේ කළ මේ ආණ්ඩුව කිසිදු ආණ්ඩුවක් නොකළ පරිදි බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමිව තිබූ ප්‍රමුඛත්වය පවා අහෝසි කිරීමට උත්සාහ කළ ආණ්ඩුවකි.

එසේ කිරීමෙන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ මිලේනියම් චැලේන්ජ් වැනි රටට අහිතකර ගිවිසුම්වලට එරෙහිව බාධාවකින් තොරව අවස්ථාව සලසා ගන්නටය. මිලේනියම් චැලේන්ජ් වැනි ගිවිසුම් ඇමරිකාවට වැදගත් වන්නේ අන් කිසිවකට නොව චීනයට එරෙහිව ඉන්දියන් සාගරයේ ඔවුන්ගේ ආධිපත්‍ය තහවුරු කර ගන්නටය.

ලංකාව යටත් කර ගත් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා බ්‍රිතාන්‍ය යටත් විජිත භාර ලේකම්ට ලියා යැවූ ලිපියක උද්ධෘතයක් මේ මොහොතේ අපට සිහි වේ. ‘‘මේ රටේ කහ සිවුර නොව කහ නූලක් තිබෙන තුරු අපට මොවුන් පාලනය කර ගැනීම යටත්ව තබා ගැනීම ලේසි නැත.’’ යනුවෙනි.

උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ මෙදා බටහිර ගැත්තන්ට පෙන්නුවේ ඒ කහ නූලේ හයියය.

ඉතින් මංගල සමරවීර වැනි අමාත්‍යවරුන්ට කේන්ති යෑම ගැන අප පුදුම වන්නේද නැත.

LEAVE A REPLY