එළඹෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට සහ ඊට අදාල පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලයේ මහජන කටයුතු අංශය පෙන්වා දෙන්නේ එම්.සී.සී. සංවර්ධන ආධාර ප්‍රදානය අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය තමන් අගය කරන බවයි.

ඒ අනුව අනෙකුත් හවුල්කාරී රටවල් 29 තුළ ක්‍රියාත්මක වනතම ප්‍රතිපත්තියට අනුව ප්‍රදානය සමාලෝචනය කිරීමට හා අනුමත කිරීමට මෙරට පාර්ලිමේන්තුවට අවස්ථාව හිමිවන බව ද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ හදුනාගත් අවශ්‍යතා සදහා අරමුදල් සැපයීම තුළින් අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 11 කට ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව මෙම සහයෝගය ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කළේය.

මෙම මුදල් ප්‍රදානය හරහා රථවාහන තදබදය අවම කිරීම, කොළඹ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම, පළාත් මාර්ග වැඩිදියුණු කිරීම සහ ඉඩම් පරිපාලනය ක්‍රමවත් කිරීම මෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ ඉඩම් අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා රජය දැනට ආරම්භ කර ඇති වැඩසටහන් පුළුල් කෙරෙන බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් එම්.සී.සී. ගිවිසුම යටතේ එක්සත් ජනපදයට මෙරට කිසිඳු ඉඩමක අයිතිය හෝ බදු දීමක් සිදු නොවන බව ද අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්. ගිවිසුම ක්‍රියාත්මක වන කාලය තුළ අරමුදල් සපයන ව්‍යාපෘති සියල්ල ශ්‍රී ලංකාව විසින් අධීක්ෂණය හා කලමනාකරණය සිදු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් මෙතරම් විරෝධතා එල්ලවන පසුබිමක ඇමරිකානු තානාපති කාර්යාලය සහ වර්තමාන එජාප ආණ්ඩුව බලහත්කාරයෙන් මෙම ගිවිසුම කඩිමුඩියේ අත්සන් කිරීම ජනතාවගේ මහා සංඝරත්නයේ මෙන්ම විද්වතුන්ගේද සැකයක් මතු වීම අසාධාරණද?

LEAVE A REPLY