‘ජාතික ආරක්ෂාව නම් ගෝඨාභය රාජපක්ෂ – සනීපාරක්ෂාව නම් සජිත් ප්‍රේමදාස‘ යනුවෙන් මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල විනෝදාත්මක ප්‍රවාදයක් ගොඩනැගෙමින් තිබේ. මේ ප්‍රවාදයට මූලික වූ කාරණය නම් තමා ජනාධිපති වූ පසුව කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන බවට යූඇන්පියේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිවුලපිටියේ පැවැති ඡන්ද රැස්වීමක දී කළ ප්‍රකාශයයි.

කාන්තාවන්ගේ මාසික ශුද්ධිය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් බවත් කාන්තාවන් වැඩි පිරිසක් නිසි සනීපාරක්ෂක ක‍්‍රමවේද අනුගමනය නොකරන බවත් ඒ හේතුවෙන් භයානක වෛද්‍ය බලපෑම් ඇතිවී තිබෙන බවත් සජිත් ඒ රැස්වීමේ දී කිව්වේය.තමා ජනාධිපති වූ පසු අලුත් ආණ්ඩුව යටතේ මේ ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුමක් දී කාන්තාවන්ට සනීපාරක්ෂක පහසුකම් ලබාදෙන බවද, මේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහාම වෙනම වෛද්‍ය ඒකක පිහිටුවන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දුන් දා පටන් ඔහු දිනපතා කරමින් සිටි විනෝදාත්මක ප්‍රකාශවලට වඩා මේ සනීපාරක්ෂක තුවා කතාව සමාජයේ අවධානයට ලක් වූ බව පෙනේ. ඔහු මෙතෙක් කළ ප්‍රකාශවලට වඩා මේ ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක් වී තිබේ. මේ කතාව කාන්තාවන් මුල් කර ගත් එකක් වීමටත් වඩා කාන්තාවන් වුවත් ප්‍රසිද්ධියේ කතා නොකරන, ප්‍රසිද්ධියේ කතා කිරීමට අකැමැති මෙන්ම ප්‍රසිද්ධියේ කතා කිරීමට තරම් දෙයක් නොවේ යැයි කාන්තාවන් වුවත් සිතන කාරණයක් මුල් කර ගත් එකකි. එවැනි කාරණයක් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම ඒ ගැන වැඩි අවධානයක් යොමු වීමට හේතුවක් වන බැවින් සජිත්ගේ සනීපාරක්ෂක තුවා කතාව සමාජ මාධ්‍යවල අයගේ උනන්දුවට හේතු වීම පුදුමයක් නොවේ.

එහෙත් පසුගිය දවස්වල සජිත්ගේ විනෝදාත්මක කතා නිසා ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ලජ්ජාවෙන් සිටි පිරිසකට නම් මේ සනීපාරක්ෂක තුවා කතාව ඔහු වෙනුවෙන් කතා කරන්නට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් වී තිබේ. සනීපාරක්ෂක තුවා කතාව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් යැයි ද, අපේ රටේ බොහෝ දෙනා මේ ගැන කතා කරන්නට මැලි වුවත් මෙය ජාතික ප්‍රශ්නයක් යැයි ද, නාගරික මැද පන්තියේ කාන්තාවන්ට ප්‍රශ්නයක් නොවූවත් ඈත පිටිසර ග්‍රාමීය කාන්තාවන්ට මෙය බරපතළ ප්‍රශ්නයක් යැයි ද කියමින් සජිත් වෙනුවෙන් ඊයේ පෙරේදා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල අදහස් පළ වෙමින් තිබෙන්නේ ඒ නිසා ය. මේ අයගේ අදහස් උදහස් අනුව අපේ රටේ කාන්තාවන්ට තිබෙන බරපතළම ප්‍රශ්න මෙසේ විය යුතු ය.

1. සනීපාරක්ෂකතුවායක් නැතිකම.

2. සනීපාරක්ෂක තුවායක් මිල දී ගන්නට හැකියාවක් නැතිකම.

3. සනීපාරක්ෂක තුවායක් අරන් දෙන්නට කෙනෙක් නැතිකම.

4. මූණ පිහදාන තුවා මිසක් සනීපාරක්ෂක තුවා ගැන නොදන්නාකම.

5. මේ හේතුව නිසා කාන්තාවන් භයානක රෝගාබාධයන්ට ගොදුරු වීම.

දැන් ඒ අනුව බලන විට අපේ රටේ කාන්තාවන්ගේ ප්‍රධානම ජාතික ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා, කාන්තාවන්ගේ සනීපාරක්ෂාවේ ගැලවුම්කාරයා, ඒ නිසාම කාන්තාවන් සියලු දෙනාගේ ඡන්ද ලැබීමට සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ය. අපේ රටේ කාන්තාවන්ගේ මේ දැවෙන ජාතික ප්‍රශ්නය හඳුනාගැනීමට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ටවත් දැන් බලයේ සිටින ජනාධිපතිවරයාටවත් ඔහුට පෙර බලයේ සිටි ජනාධිපතිවරුන්ට වත් වෙනකක් තබා මීට පෙර බලයේ සිටි නොම්මර එකේ ජනාධිපතිවරියටවත් නොහැකි විය. එතෙක් මෙතෙක් මේ ලංකාවේ සිටි හා සිටින සියලු ප්‍රාඥයන්ට ද, කුශාග්‍ර බුද්ධිමතුන්ට ද, ආචාර්ය මහාචාර්යවරුන්ට පමණක් නොව පිනාචාර්යවරුන්ට ද මේ ජාතික ප්‍රශ්නය හඳුනාගත නොහැකි විය.

විජය කුමාරයාගේ පළමු ආර්යාව (very first lady) වූ කුවේණියගේ පටන් අවුරුදු දෙදාස් පන්සීයකටත් වැඩි කාලයක් අපේ රටේ කාන්තාවන් පීඩාවට පත් කරන මේ ජාතික ප්‍රශ්නය හඳුනා ගත් නායකයා සජිත් ප්‍රේමදාස ය. ඒ නිසා (ඔවුන් කියන අන්දමට) කාන්තාවන් සජිත් දිනවීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් පෙරට ආ යුතු ය. සජිත් ජනාධිපතිකමට පත් කර ගත් වහාම අපේ රටේ කාන්තාවන්ගේ මේ ජාතික ප්‍රශ්නය සුන්නත්දූලි වී යනු ඇත. ඉදින් එසේ වූ විට අපේ කාන්තාවන්ට තවත් කුමන ප්‍රශ්නයක් ද?

සජිත්ගේ මේ ප්‍රකාශය නිසා උද්දාමයට පත් වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ලන්ඩනයේ සිට පසුගිය අඟහරුවාදා ලහි ලහියේ ලංකාවට ආවා ය. ඇය තමාගේ සියලු වැඩ කටයුතු පසෙක දමා මේ හදිසියේ ලංකාවට ආවේ සජිත්ගේ සනීපාරක්ෂක තුවා බෙදිල්ලට හවුල්වීම සඳහාවිය හැකිය. ඒ නිසාම ඇය අද හෙටම කුමාර වෙල්ගමත් සමඟ සජිත්ගේ වේදිකාවට ගොඩ වන්නට ද ඉඩ තිබේ. වෙල්ගම ද කාන්තාවන්ගේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කම්පාවට පත් වන අයකු ලෙස අතීතයේ පටන් ම ප්‍රසිද්ධියට පත් වී සිටින අයෙකි. දැන් ඉතින් නම් කිසි ම සැකයක් බියක් තියා ගන්නට ඕනෑ නැති ය. ලංකාවේ කාන්තාවෝ ලබන 16 දා උදේ ම පෝලිමේ පොර කකා ගොස් හංසයා ඉදිරියේ කතිරය ගසනු ඇත.

සජිත්ගේ සනීපාරක්ෂක තුවායෙන් හදිසියේ පණ ගසා ඇවිත් සිටින උදවිය ඒ විදියට හිතනු ඇති නමුත් මේ ගැන අසුබවාදී ව හිතන අසමජ්ජාතියෝ ද සිටිති. අපේ රටේ මොන වැඩක් කරන්නට ගියත් කොහේ හරි පොතකින් තියරි හෝ අතීත කතාවකින් උදාහරණ හෝ උස්සා ගෙන ඇවිත් ප්‍රශ්න අසන, මත ඉදිරිපත් කරන, අදහස් දක්වන එවැනි අසමජ්ජාතියන් සිටින බැවින් ඒ ගැන ඒ හැටි හිතන්නට ඕනෑ නැත. එහෙත් උන් අසන්නට ඉඩ තිබෙන අසමජ්ජාති ප්‍රශ්න ගැන ද, කරන්නට ඉඩ තිබෙන ප්‍රකාශ ගැනද අනාගතයේ ජනාධිපති වන්නට සිතා සිටින අයකු දැන සිටිය යුතු වේ. ඒ නිසා එවැනි කාරණා කිහිපයක් ගැන වත් සඳහන් කිරීම ප්‍රයෝජන වත් විය හැකි ය.

2001 සිට 2004 දක්වා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා වී සිටියේ සජිත් ප්‍රේමදාස කෙනෙකි. ඒ සජිත් ප්‍රේමදාසත් මේ සැරේ ජනාධිපතිවරණයේ දී හංසයාගෙන් ඡන්දය ඉල්ලන සජිත් ප්‍රේමදාසත් එක් අයකු මිස දෙදෙනකු විය නොහැකි ය. 1993 මැයි 01 දා කොළඹ ආමර් වීදියේ දී දිවංගත වූ ජනාධිපති ආර්. ප්‍රේමදාසට අප දන්නා තරමට සිටියේ එකම එක සුජාත පුත්‍ර රත්නයකි. ඔහුට සජිත් කියා නම දැම්මේ ඒ නිසා යැයි ආර්. ප්‍රේමදාසම වරක් පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය. මෙදා පාර හංසයාගෙන් ඡන්දය ඉල්ලන්නේ ඒ ප්‍රේමදාසගේ පුත්‍රයාය. තමා ඒ වන්දනීය පූජනීය පියාණන්ගේ පුතා බවත් තමාගේ ඇඟේ දුවන්නේ ඒ පියාගේම ලේ බවත්, තමාට තිබෙන්නේ ඒ පියාගේම ජාන බවත් ඒ පුත්‍රයාම මේ දවස්වල වේදිකා මත දහ අතේ දිවුරා ප්‍රකාශ කරමින් සිටින නිසා අපට ඒ ගැන තහවුරු කර ගන්නට ඩීඑන්ඒ පරීක්ෂණයක් කරන්නටවත් අඩු තරමින් ඒ ගැන කිසි ම සැකයක් තියා ගන්නට හේතුවක් වත් පෙනෙන්නේ නැත.

සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති වී හිටපු කාලයේ දැන් ඔය දෙනවා කියන සනීපාරක්ෂක තුවාය දෙන්නට බැරි වුණේ ඇයි? ඒ කාලයේ අපේ රටේ කාන්තාවන්ට ඔය ප්‍රශ්නය තිබුණේ නැද්ද? නැත්නම් සජිත් ඒ කාලයේ මේ ප්‍රශ්නය හඳුනාගෙන තිබුණේ නැද්ද? එහෙමත් නැත්නම් සනීපාරක්ෂක තුවායක් අරන් දෙන්නට තරම් වත් ඒ කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සල්ලි තිබුණේ නැද්ද? ඒ එකක් වත් නොවේ නම් සජිත් සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා ජනප්‍රිය වෙයි කියා බයට අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් සනීපාරක්ෂක තුවා ප්‍රතිපාදන කපා හැරියා වත් ද? බාග වෙලාවට ඒ කාලයේ සනීපාරක්ෂක තුවා කියා ජාතියක් සොයා ගෙන තිබුණේ නැතිවා වත් ද?

අපේ රටේ කාන්තාවන්ට ඇති බරපතළම ප්‍රශ්නය සනීපාරක්ෂක තුවායක් නැතිකම ද? ඊට වඩා විසඳිය යුතු දැවැන්ත බරපතළ ප්‍රශ්න ඔවුන්ට නැද්ද? සනීපාරක්ෂක තුවායක් අන්දා කාන්තාවන් අන්දන්නට හදන සජිත්ට අපේ රටේ කාන්තාවන් මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න ගැන තිබෙන අවබෝධය කුමක් ද? සනීපාරක්ෂක තුවායක් දී මේ රටේ ඉන්නා කාන්තාවන් අන්දන්නට කලින් අඩුම තරමින් මැදපෙරදිග ඇතුළු වෙනත් රටවල වහල් සේවයේ යෙදෙමින් කඹුරන අපේ කාන්තාවන් ඉන් මුදා ගන්නට ඔහුට ඕනෑකමක් තිබෙනවා ද? ඒ සඳහා වැඩපිළිවෙළක් ඔහුට තිබෙනවා ද? අපේ රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන ශ්‍රමිකයන් වන ඔවුන්ට විසඳුමක් දිය යුතු නැද්ද? අපේ රටේ නායකයන් කියන උදවිය ලජ්ජා විය යුතු මේ ප්‍රශ්නය විසඳන්නටවත් සජිත්ට අදහසක් හෝ තිබෙනවා ද?අසමජ්ජාතියන් මේවා අසන්නට ඉඩ ඇත. එය එක් ප්‍රශ්නයක් පමණි. කාන්තාවන්ට තවත් දහසකුත් එකක් ප්‍රශ්න තිබේ. ඒ ප්‍රශ්න ඔහු දැන් වේදිකාවේ කරන සිල්ලර ප්‍රකාශවලින් විසඳිය නොහැකි බව ඔහු නොදන්නවා වුණාට මේ රටේ මිනිස්සු දනිති. අනික් අතට රටේ ප්‍රමුඛතාව ලැබිය යුතු ප්‍රශ්න තියෙද්දී සජිත් මේ කරමින් සිටින්නේ කුමක් ද? ගැලරිය පිනවීමෙන් ජනාධිපතිවරණය ජය ගත හැකි යැයි සජිත් සිතා සිටින බවක් ඔහු කරන ප්‍රකාශවලින් පෙනේ. ගෝඨාභය රාජපක්ෂ පැරදවීමට හීන දකිමින් සිටින ඇතැම් උගතුන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා ඇතැමුන්ට ද සජිත්ගේ මේ ප්‍රකාශ බරපතළ අවුලක් ඇති කර තිබේ. ඔවුන්ට විලිලජ්ජාවක් ඇතිව සජිත් දිනවන්නැයි කියන්නට බැරි වී ඇත්තේ ද මේ නිසා ය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කාන්තා ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ උප්පරවැට්ටියක් විදියට මේ සනීපාරක්ෂක තුවා බෙදිල්ල වේදිකාවට ගෙනාවා විය හැකිය. ඔහු ඒ කතාව කිව්වේ ඡන්ද තුරුම්පුවක් වශයෙන් වුණත් අදහසක් වශයෙන් එය හෙළාදැකිය යුත්තක් නොවේ. ප්‍රශ්නය ඇත්තේ ඔහු එය ඡන්දය ලබා ගැනීමේ ඇමක් ලෙස ඉදිරියට ගැනීමය. මීට පෙර කිසි දාක ඔහු අපේ රටේ කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා දෙන්නට කතා කළේ නැත. සනීපාරක්ෂක තුවා දෙන්නට තබා කාන්තාවන්ගේ මොන ප්‍රශ්නයක් ගැනවත් කතා කළේ නැත. එපමණක් නොවේ, කාන්තාවන්ට ප්‍රශ්න ඇති බවක් වත් ඔහු දන්නවා දැයි ඔහුගේ අතීත කියුම් කෙරුම්වලින් රටට පෙනුණේ නැත.

එක් අතකට සජිත් සනීපාරක්ෂක තුවා නොදීම හෝ ඒ ගැන කතා නොකිරීම හෝ පොදුවේ කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන කතා නොකිරීම නිසා හෝ ඔහුට දොස් නැගීම වැරැදි ය. කාන්තාවන්ගේ ප්‍රශ්න කෙසේ වෙතත් සජිත්ගේ දේශපාලන ඉතිහාසය තුළ කිසිදාක ඔහු රටේ පොදු ප්‍රශ්න ගැන කතා කළ දේශපාලනඥයෙක් නොවේ. රටේ සංවේදී සෑම ප්‍රශ්නයක දීම ඔහු අනුගමනය කළේ නිහඬව සිටින ප්‍රතිපත්තියකි. පසුගිය කාලයේ රට තුළ පැනනැගුණු ජාතික වැදගත්කමක් ඇති කිසි දු ප්‍රශ්නයක දී සජිත් ප්‍රේමදාසගේ මැදිහත් වීමක් දක්නට ලැබුණේ නැත. අඩු වශයෙන් එවැනි අවස්ථාවක දී අදහසක් දක්වන්නට වත් ඔහු ඉදිරිපත් වුණේ නැත. ඒ සෑම අවස්ථාවක දීම ඔහු වේදිකාවෙන් පිටුපස සැඟ වී සිටියේ ය. ඔහු වඩාත් ප්‍රිය කළේ යාල කැලයට වී සිටින්නට ය. කොළඹ නොසිටියොත් ඔහු හමු වන්නට යා යුතු වූයේ යාල කැලයට බව ඔහු බලයට ගෙන එන්නට වලිකන අය කෙසේ වෙතත් ඔහු ගැන දන්නෝ දනිති.

ඡන්ද වේදිකාවේ දී කරන කතාවලින් පමණක් ජනාධිපති අපේක්ෂකයකුගේ දැක්ම හා වැඩපිළිවෙළ ගැන විග්‍රහ කිරීම සර්ව සාධාරණ නොවේ. එහෙත් රටේ නායකයා වන්නට බලාපොරොත්තු වන නායකයකු නම් වේදිකාවේ කරන කතා තමාගේ දැක්ම පදනම් කර ගත්, තමාගේ ප්‍රතිපත්තිය පදනම් කරගත් එමෙන්ම තමා ක්‍රියාත්මක කරන්නට සිතා සිටින වැඩපිළිවෙළ විස්තර කෙරෙන කතා විය යුතුය. මන්ද, ඡන්ද ප්‍රචාරක රැස්වීම් පවත්වන්නේ ඒවා ගැන ජනතාව දැනුම්වත් කරන්නට නිසා වන බැවිනි. කෙසේ වෙතත් ඊයේ වන තෙක් ඔහු වේදිකා මත කී දේවල් අනුව නම් පෙනෙන්නේ ඒවා ඔහුගේ දැක්ම, ප්‍රතිපත්තිය සහ ඔහුගේ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රකාශ බවය. ඒවා කොතෙක් දුරට ඇත්ත ද නැත්ත ද යන්න තේරුම් බේරුම් කර ගත හැකි වනු ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා බැලීමෙන් පසුවය.

ඊයේ මහනුවර දී සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණේය. සජිත් පසුගිය දවස්වල වේදිකා මත මොන මොන විහිළු කතා කිව්වත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරබර කතා තිබෙන්නට හැකි බවටත් හෙට අනිද්දා වන විට වේදිකා මත ඔහු මහා බරපතළ දේවල් කියන්නට ඉඩ ඇති බවටත් එය එළිදැක්වූ උත්සවයේ දක්නට ලැබුණු පෙරමග ලකුණු අනුව නම් පෙනෙන්නට තිබේ. ඇතැම් විට ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියූ එයට ‘සමාජ විප්ලවය‘ යැයි නම තැබූ අය සජිත්ගේ ඡන්ද ව්‍යාපාරයට පුනරුදයක් ලබා දෙන්නට ඉදිරිපත් වී සිටිනවා ද විය හැකි ය.

සජිත්ගේ මේ ප්‍රකාශය නිසා උද්දාමයට පත් වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ලන්ඩනයේ සිට පසුගිය අඟහරුවාදා ලහි ලහියේ ලංකාවට ආවා ය. ඇය තමාගේ සියලු වැඩ කටයුතු පසෙක දමා මේ හදිසියේ ලංකාවට ආවේ සජිත්ගේ සනීපාරක්ෂක තුවා බෙදිල්ලට හවුල් වීම සඳහා විය හැකි ය

කාන්තාවන්ගේ ප්‍රශ්න කෙසේ වෙතත් සජිත්ගේ දේශපාලන ඉතිහාසය තුළ කිසි දාක ඔහු රටේ පොදු ප්‍රශ්න ගැන කතා කළ දේශපාලනඥයෙක් නොවේ. රටේ සංවේදී සෑම ප්‍රශ්නයක දී ම ඔහු අනුගමනය කළේ නිහඬ ව සිටින ප්‍රතිපත්තියකි

LEAVE A REPLY