පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කරීම සඳහා වු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු ඊයේ (31) ආරම්භ කරන ලදී.

මෙම කොමිසම පංච පුද්ගල කමිටුවකින් සමන්විත වන අතර, එහි සභාපතිත්වය දරනු ලබන්නේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාය.

මෙහි සෙසු සාමාජිකයන් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ, බන්දුල කුමාර අතපත්තු, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරියක වන ඩබ්ලිව්. එම්. එම්. ආර්. අධිකාරි යන අයයි.

කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන සමාරම්භක දේශනයක් පැවැත් වූවාය.

එහිදී ඇය සඳහන් කළේ අහිංසක සිවිල් ජන ජීවිත ඉලක්ක කරගෙන දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් දරුවන්ට දෙමාපියන්, දෙමාපියන්ට දරුවන් පවුලේ ඥාතීන් අහිමි වූවාක් මෙන්ම සංචාරකයන් බොහෝ දෙනකුට සිය ජීවිත අහිමි වූ බවය. මෙවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ කෙසේ ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බවද ඇය අවධාරණය කළාය.

එසේම මෙවැනි ප්‍රහාර ගැන වගකීම පැහැර හරිමින් එය එක් පුද්ගලයෙක්ගේ ගිණුමට බැර කළ නොහැකි බවද ඇය සඳහන් කළාය.

මෙම ප්‍රහාරයන් කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද එයට සක්‍රියව දායක වුණේ කවුරුන්ද, මීට පෙර මෙවැනි යම් අත්හදා බැලීම් සිදුව ඇත්ද යන්න පිළිබඳ කොමිසමෙන් විමසා බැලිය යුතු බව ඇය කියා සිටියාය.

අනතුරුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පොලිස් මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ පර්යේෂණ සංවර්ධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න පැමිණියේය.

මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂි හේරත් ජයවීර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්නගෙන් සාක්ෂි විමසා සිටියාය.

රජයේ අධිනීතිඥවරිය : පොලිස්පතිගෙන් පසු ආයතන ප්‍රධානී හැටියට පහළට ඇති නිලය කුමක්ද?

නියෝජ්‍ය පොලිස්පති : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති.

රජයේ නීතිඥවරිය : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කී දෙනෙක් ඉන්නවද?

නියෝජ්‍ය පොලිස්පති : දොළොස් දෙනෙක් ඉන්නවා. ඉන් එක් අයකුගේ වැඩ තහනම්

රජයේ නීතිඥවරිය : නි​යෝජ්‍ය පොලිස්පති යටතේ තිබෙන රාජ්‍ය බුද්ධි අංශයේ මූලිකත්වය ගන්නේ කව්ද?

නියෝජ්‍ය පොලිස්පති : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන

රජයේ නීතිඥවරිය : රාජ්‍ය බුද්ධි අංශ කොටස් පොලිස්පතිට වග කියනවද?

නියෝජ්‍ය පොලිස්පති : නැහැ

රජයේ නීතිඥවරිය : රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ වගකීම ඇත්තේ කාටද?

නියෝජ්‍ය පොලිස්පති : ආරක්ෂක අමාත්‍යාංශයට

රජයේ අධිනීතිඥවරිය – පොලිස්පතිට හැකිද රාජ්‍ය බුද්ධි අංශ පරිපාලනයේ වෙනස්කම් හෝ ව්‍යුහය පිළිබඳව තීරණ ගැනීමද?

නියෝජ්‍ය පොලිස්පති – දැනුමේ හැටියට නැහැ.

සභාපිත විනිසුරු – රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා රපෝර්තු කරන්න ඕනෙ කාටද?

නියෝජ්‍ය පොලිස්පති – ආරක්ෂක අමාත්‍යාංශයට.

සභාපති විනිසුරු – රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වගකියන්න ඕනේ ආරක්ෂක අමාත්‍යාංශයේ කාටද?

නියෝජ්‍ය පොලිස්පති – මං හිතන විදිහට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට.

සභාපති විනිසුරු : ඒ පිළිබඳ ලේඛනයක් තියෙනවද

නියෝජ්‍ය පොලිස්පති : අපි ළඟ නැහැ

සභාපති විනිසුරු : එහෙම නැත්නම් කොහොමද ඒ කටයුතු කරන්නේ?

නියෝජ්‍ය පොලිස්පති : ලිඛිත නීතියක් නැහැ. ගැසට් මගින් පවරලා තියෙනවා.

රජයේ නීතිඥවරිය : මේ ඔබ සඳහන් කළ ක්‍රියාකාරී කොටස්වලින් බුද්ධි තොරතුරු රැස් කිරීමට අදාළ කොටස් මොනවාද?

නියෝජ්‍ය පොලිස්පති : විශේෂ කාර්යාංශ ඒකකය, රාජ්‍ය බුද්ධි අංශය.

රජයේ නීතිඥවරිය : බුද්ධි තොරතුරු රැස් කිරීමක් සිදු කරනවද?

නියෝජ්‍ය පොලිස්පති : ඔව්.

රජයේ නීතිඥවරිය : රාජ්‍ය බුද්ධි අංශය ආරක්ෂක අමාත්‍යාංශයට වගකියනවා නම් විශේෂ කාර්යාංශය වගකියන්නේ කාටද?

නියෝජ්‍ය පොලිස්පති : විශේෂ කාර්යාංශය පොලිස්පතිගේ යටතේ තියෙන්නේ. අභ්‍යන්තර බුද්ධි තොරතුරු රැස්කරන්නේ පොලිස් නිලධාරින් ලබාදෙන තොරතුරු අනුව. එහි අධ්‍යක්ෂවරයා පසුව එම තොරතුරු නියෝජ්‍ය පොලිස්පතිට ලබා දෙනවා.

රජයේ නීතිඥවරිය : විශේෂ කාර්යාංශය සෑදෙන ව්‍යුහය කොට්ඨාස 44 බුද්ධි තොරතුරු ඒකක 44 මගින් කිව්වොත් නිවැරදිද?

නියෝජ්‍ය පොලිස්පති : ඔව්. නිවැරදියි.

මෙහිදී රජයේ නීතිඥවරිය වනාතවිල්ලුව, කාත්තන්කුඩි, දෙහිවල, සයින්දමරුදු, කටුවන යන පොලිස් ස්ථාන පිහිටි බල ප්‍රදේශ හා පළාත්වල පොලිස් ආයතනික ව්‍යුහය පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් සාක්ෂි විමසා සිටියාය.

රජයේ නීතිඥවරිය : බුද්ධි අංශ නිලධාරින් ප්‍රමාණවත් නැතිද?

නියෝජ්‍ය පොලිස්පති : බුද්ධි තොරතුරු එකතු කිරීමට විධිමත් කාර්යාංශයක නිලධාරින් අවශ්‍යයි.

සභාපති විනිසුරු : බුද්ධි අංශ තොරතුරු රැස් කිරීමේදී අඩුපාඩු සිදුවෙලා තියෙනවද?

නියෝජ්‍ය පොලිස්පති : අඩුපාඩු තියෙනවා කියලා කියන්න බැහැ. බුද්ධි අංශ නිලධාරින් වැඩි කළ යුතු බවට කියලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරියේ සේවක ඌනතාවක් තියෙනවා. නිලධාරින් ලොකු හිඟයකින් තමයි පොලිසිය රාජකාරි කටයුතු කරන්නෙ. සියලුම නිලධාරින් පැය 12 ක් වැඩ කරනවා.

කොමිසමේ සාමාජික : සියයට 40 ට වඩා අඩු ප්‍රමාණයක් පොලිසියේ වැඩ කරන්නෙ කියලා ඔබ කිව්වා. ඉතුරු සියයට 60 මොකද කරන්නේ?

නියෝජ්‍ය පොලිස්පති : 73,209 රාජකාරි කරනවා. ඉන් 4500 ක් ආබාධිතයි. මේ නිලධාරින්ගෙන් 18,000 කට කිට්ටු පිරිසක් ක්‍රියාකාරී පැත්තේ ඉන්නවා. 55,000 ක පමණ නිලධාරින් ප්‍රමාණයක් තමයි අනෙක් රාජකාරි කරන්නෙ.

සභාපති විනිසුරු : ඔබ පොලිස් සේවයට බැඳිලා නැගෙනහිර පළාතේ සේවය කළාද?

නියෝජ්‍ය පොලිස්පති : අවස්ථා කීපයකදී යුද සමයේදී සේවය කළා. වාලච්චේනයේ සහකාර පොලිස් අධිකාරී ලෙසද සේවය කළා.

සභාපති විනිසුරු : ඒ කාලයේ අන්තවාදීන් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබුණද?

නියෝජ්‍ය පොලිස්පති : යුද කාලයේ මම හිටියේ. යුද්ධය ඉවර වෙනකොට ස්ථාන මාරුවෙලා ආවා. ඒ කාලේ නොයෙක් යුද්ධයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම් හිටියා. කාත්තන්කුඩි, එරාවුර්, ඔට්ටමාවඩි මුස්ලිම් අය බහුල ප්‍රදේශ. ඔවුන්ගේ ආගම් අතරේ ගැටුම් තිබුණා කියලා වාර්තා වුණා. දෙගොල්ලන්ම ගහගන්න ඒවා තිබුණේ පල්ලිවල.

සභාපති විනිසුරු : ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණද?

නියෝජ්‍ය පොලිස්පති : පැමිණිලි ලැබුණා. ඒ පිළිබඳ විමසීම් කළා. එල්ටීටීඊ තර්ජන එක්ක අමුතුම විදිහට ගැටුම් තිබුණා.

සභාපති විනිසුරු : ඒ පැමිණිලිවලට නීතිය ක්‍රියාත්මක කළාද? දේශපාලන මැදිහත්වීම් තිබුණද?

නියෝජ්‍ය පොලිස්පති : දේශපාලන මැදිහත්වීම් තිබුණේ නැහැ. මම හිටපු කාලයේ කාති උසාවියෙන් ගොඩක් විසඳුම් ලබා දී තිබුණා.

සභාපති විනිසුරු : මොහොමඩ් සහරාන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුණද?

නියෝජ්‍ය පොලිස්පති : නැහැ.

සභාපති විනිසුරු : ඒ කාලේ ආගමික ගැටුම් පිළිබඳ තොරතුරු ලැබුණද?

නියෝජ්‍ය පොලිස්පති : මුස්ලිම් ගැටුම් තිබුණා. මුස්ලිම් දෙපාර්ශ්වය අතර හොඳ හිත තිබුණේ නැහැ. දේශපාලන බෙදීම් තිබුණා.