මුස්ලිම් ජාතිකයන් නව දෙනෙක් පාස්කු ප්‍රහාරය දිනයේදී මියගියේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් යැයි කීම විහිලුවක් බව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් කරන ලද්දක් යැයි ඇතැම් පාර්ශ්ව නගන චෝදනාවට පිළිතුරු දෙමින් අලි සබ්‍රි මේ බව ප්‍රකාශ කළේ කොළඹ පර්ල් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (31 වැනිදා) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ අලි සබ්‍රි මෙසේද පැවසීය.

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය සම්බන්ධයි කියනවා නම් මුස්ලිම් මිනිස්සු කී දෙනෙක් එක සිංහල මිනිහෙක් වෙනුවෙන් පවුල් පිටින් පුපුරවගෙන මැරිලා. බඩදරු අම්මලා පුපරවගෙන මැරිලා. ඔය වගේ කතා කියන කට්ටිය මෙවැනි කතා කිය කිය තමයි යුද්දෙ අවුරුදු ගාණක් වවාගෙන කෑවේ. කිසිම දවසක වගකීමක් භාර ගන්නේ නැති රජයක් මේක. ඒ කාලේ ආර්. ප්‍රේමදාස කළෙත් එක එක්කෙනාට බැණ බැණ ඉන්න එක. මහින්ද සහ ගෝඨාභය ඒ කාලේ අනුන්ට බැණ බැණ හිටියා නම් තාමත් යුද්ධෙ තියෙනවා. යුද්ධය මෙරට දේශපාලනයේ සමාජ පාඨයක් වුණා. දැන් ජාතිවාදය ඇදලා අරගෙන තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ නායකත්වයට ආවොත් තවදුරටත් ජාතිවාදයක් තියෙන්නේ නෑ. ඉදිරියට අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත වෙමු.

ඒ වගේම ජනතාව කැමැති වුණත්, අකැමැති වුණත් රටක අනාගතය තීරණය කරන්නේ දේශපාලනඥයා වන බැවින් මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක සාධකයක් ලෙස ගෙන, මත මෙහෙයවන්නන් සියල්ල හැරවුම් ලක්ෂ‍්‍යයක් ඇති කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ වටා පෙළ ගැසී සිටිනවා.

ජාත්‍යන්තරය ගත්තත් බොහෝ රටවල අනාගතය තීරණය කරල තියෙන්නේ දේශපාලනඥයන්. කොරියාව ගත්තොත් එකම භූමිය. එකම මිනිස්සු, එකම ස්වභාවික සම්පත්, එකම භාෂාව. කෘත්‍රිම ඉරකින් පමණක් වෙන්වෙලා තියෙනවා. උතුරු කොරියාව අද ජීවන බරේ පහළම තැනට වැටිලා. දරිද්‍රතාවයෙන් පෙළෙනවා. නමුත් දකුණු කොරියාව අද ලෝකේ තියෙන දියුණුම රටවල් ගොඩට එකතුවෙලා. මේ වෙනසට හේතුව ‘දේශපාලනය.’

අපේ රටටත් මේ අවස්ථාව වැදගත්. අද ප්‍රධාන තරගකරුවන් දෙදෙනෙක් ඉන්නවා. ක්‍රම දෙකකට ඔවුන්ට දිනන්න පුළුවන්. එකක් මහන්සිවෙලා වෙරදාලා දුවන එක. අනික තමයි කකුල් මාට්ටු දාලා වට්ටන එක. යහපාලන ආණ්ඩුව කළේ දිගටම කකුල් මාට්ටු දාන එක. ආණ්ඩු කරනවට වඩා මිනිස්සු නිකරුණේ හිරේ දැම්මා. ව්‍යවස්ථා සංශෝධනයකින් පටන් ගත්තා. ව්‍යවස්ථා සංශෝධන කියලා කළේ ප්‍රතිවාදීන්ගේ ගමන්වලට බාධක දාන එක. විධායක ජනාධිපතිවරණයේ වෙනසක් කළේ නෑ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියලා නීති විරෝධී පොලිසියක් දැම්මා. අලුතෙන් උසාවි හදලා දිනෙන් දින නඩු ඇහුවා. අනෙක් මිනිසුන්ට කකුල් මාට්ටු දාද්දී ආර්ථිකය කඩා වැටුණා. ජාතික ආරක්ෂාව නැතිවුණා. එක්සත් බව නැති වුණා. බුද්ධි වාර්තා 97 ක් තියෙද්දී සහරාන්ලාට විරුද්ධව මොකුත් කරන්න බැරි වුණා. යහපාලනයේ අදූරදර්ශී බව නිසා මේ දේවල් වුණේ.

2003 දී රනිල් වික්‍රමසිංහ නෝර්වේ සමග ගිවිසුම් ගහලා රටෙන් තුනෙන් එකක් එල්ටීටීඊ එකට දුන්නා. එහි වෙනම පාලනයක් තිබුණේ රනිල් වික්‍රමසිංහ විතරයි තීරණය කළේ එහෙම බෙදලා වෙන් කරලා දෙන්න. නමුත් රාජපක්ෂලා රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටියා. ඒක නිසා නිවැරදි තීන්දු ගන්නා නායකයා පත්කර ගැනීම වැදගත්. රනිල් වික්‍රමසිංහ රට පාවලා දෙන ගිවිසුම් ගහලා සෙල්ලම් කරනවා.

ඒ වගේම මේ මැතිවරණ කාලයේ ඉටු කරන්න බැරි දේවල් සජිත් කියනවා. ඒවා කරන්න භාණ්ඩාගාරයේ සල්ලි නෑ. ජනතාව මුළා කරන ප්‍රකාශ සිදුකරන්නේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කරන්න පුළුවන් දේවල් විතරයි.

වතු කම්කරු ගැටලුව ගැන ජනාධිපති අපේක්ෂකයන් අදහස් දැක්වූවා. ඔවුන් ඉල්ලන 1000 දෙන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. නමුත් ගෝඨාභය රාජපක්ෂ අමාරුවෙන් හරි 1000 ත් දෙන්න එකඟ වුණා. ඒ තීරණය ගත්තේ කතා කරන්න ඕන හැම පාර්ශ්වයක් සමගම කතා කරලා. කම්කරුවා වගේම වතු හිමියා ආරක්ෂා කර ගැනීමත් වැදගත්. නමුත් මේ ප්‍රකාශය කළ දාට පහුවදා සජිත් නින්දෙන් නැගිටලා වගේ වතුකම්කරුවන්ට 1500 දෙනවා කිව්වා. වතු කම්කරුවෝ ලක්ෂ ගාණක් ඉන්නවා. දිනපතා යන මුදල සජිත්ගේ අතින් දෙනවද. ඒ වගේම ජනසවියත් දෙනවලු. සමෘද්ධිත් දෙනවලු. ඕන මනුස්සයෙක් දන්නවා භාණ්ඩාගාරය හිඳුන බව. සීනිබෝල කතා කියන නායකයෙක් එක්ක රටකට අනාගතයක් නෑ. ඒ නිසා මීට වඩා දර්ශනයක් ඇති නායකයෙක් ඕන.

ඒ වගේම නීතිඥයෙක් විදියට මගේ අත්දැකීම් අනුව යහපාලන ආණ්ඩුව කාලේ තරම් නීතිය නමපු පාලනයක් තවත් තිබිලා නෑ. නීතිය තුළ හැමෝම සමානයි. ඇතැමුන් මේක තේරුම් අරගෙන නෑ. චෝදනාවක් වත් ගොනු නොකර රණවිරුවන් හිරේ දැම්මා. දේශපාලන සිරකරුවන් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා කිසිම චෝදනාවක් නැතිව කටකතාවලට විදේශ බලවේගවල වුවමනාවන්ට සහ ඩයස්පෝරාවල වුවමනාව මත චෝදනා ගොනු නොකර හිරේ වැටුණ රණවිරුවන් නිදහස් කරනවා කියලා. එතුමාගේ ප්‍රකාශය පවා වැරදි විදිහට තේරුම් අරගෙන තියෙනවා. එතුමා අදහස් කළේ වැරැද්දක් නොකර හිරේ ඉන්න රණවිරුවන්ට නිදහස ලබා දීම පමණයි.

ඒ අතර ඊයේ කැබිනට් අනුමැතිය ලැබුණ එම්. සී. සී. ගිවිසුමේ ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන පනත අධිකරණයේදී පරාජය වුණ පනතක්. දැන් ගිවිසුම අත්සන් කරන්න යනවා. මෙය ඉතාම භයානකයි. නීතිඥ සංගමය මෙය දැඩිව විවේචනය කළා. මුළු රටේ හෙක්ටයාර් ලක්ෂයක් විතර විදේශයකට දෙන්න යද්දී ජනතා මතය හෝ විමසන්න ඕනෑ. ජනාධිපතිවරණයක් ළඟ තියෙද්දී මේ වගේ ගිවිසුම් අත්සන් කිරීමට යාම සදාචාර සම්පන්න නෑ. රනිල්ගේ හදිසිය තුළ පෙනෙන්නේ ඔවුන් දැන්මම පරාජය භාර ගැනීම. කොහොම වුණත් කැබිනට් මණ්ඩලය මීට අත්සන් කිරීමෙන් පෙනෙන්නේ රටට ආදරය කරන පිරිසක් එහි නොමැති බව.

මෙම අවස්ථාවට එක් වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් මෙසේ අදහස් දැක්වීය.

මුලින්ම කියන්න ඕන ගෝඨාභය මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශය වෘත්තීයවේදීන්ගේ එකමුතුවෙන් සෑදුනු රටේම අවශ්‍යතාව නියෝජනය කරන්නක් බව. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණු විනයගරුක සමාජයක් කියන එක ඇතැම් අය සැහැල්ලුවට, විහිළුවට අරගෙන කතා කරලා තිබුණා. විනය කියන දේ පිරිහුණාම මුළු රටේම යාන්ත්‍රණය ඇනහිටිනවා.

ඒ වගේම ජනමාධ්‍ය නිදහස ගැන කියමින් පසුගිය ආණ්ඩුවට බරපතළ චෝදනා කළා. ඒ අයම අද පෞද්ගලික මාධ්‍ය ජාලවලට එරෙහිව පාරට බැහැලා. මාධ්‍ය ආයතනවලට දේශපාලන මතයක් තියෙනවා. ඒක අපි ප්‍රශ්නයක් කරගත යුතු නෑ. අද හිරු නාළිකාවට විරුද්ධව පෝස්ටර් ගහලා. දෙරණට විරුද්ධව වේදිකාවල කෑගසනවා. මේ මාධ්‍ය හැම එකක්ම සමාජ ප්‍රගමනය වෙනුවෙන් යම් කාර්යයක් කරනවා. ඒ අයගේ දේශපාලන මතය පිළිගන්න තරම් විවෘත බවක් අප තුළ තිබිය යුතුයි. මාධ්‍ය නිදහස ගැන කතා කරනවා වගේම ක්‍රියා කළ යුතුයි. මේ මැතිවරණ ප්‍රකාශ තුළ ඉතාම ප්‍රගතිශීලී කාරණයක් තියෙනවා. එය මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වැනි පිටුවේ තියෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වාණිජ තරගකාරීත්වයේ පීඩනයෙන් තොරව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ආදර්ශ ඉදිරිපත් කිරීම සඳහා සරිලන සේ ක්‍රියා කරන ආයතන බවට පත්කරන බවත් පාර්ලිමේන්තුවට වගකියන කොමිසමක් යටතේ මේවා සංවිධානගත කිරීමටත් ගෝඨාභයගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කියනවා. මේ ආයතන අද මූල්‍යමය වශයෙන් අපහසු තැන්වලට වැටිලා. මේ ආයතන ශක්තිමත්ව ගොඩනගලා බීබීසී සම්ප්‍රදාය රැගත් එක දේශපාලන පක්ෂයකට වගකියන ආයතනයක් ලෙස නොව මුළු රටටම වගකියන ආයතනයක් ලෙස ශක්තිමත්ව ඔසවා තැබීමට යෝජනා ගෙනත් තියෙනවා. මේ සම්බන්ධව සජිත් පිලේ මතයත් යෝජනා කරන්න කියලා මම කියනවා.

ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ජනාධිපති අපේක්ෂකයකු සිටින බවට ආචාර්ය දයාන් ජයතිලක පැවසුවා කියන කතාවක් සමාජ ජාලවල තිබුණා. මම විශ්වාස කරන්නේ නෑ ඔහු එහෙම ප්‍රකාශයක් කළා කියලා. ඔහු එහෙම දෙයක් කිව්වේ නෑ කියලා ප්‍රකාශයක් කරලා තිබුණා. මේ රටේ ත්‍රස්තවාදය සමග වැඩිපුරම සම්බන්ධ වුණ අය තමයි එය වෙනත් අයට පවරන්න යන්නේ. යුද්ධයක් නැති රටක් යහපාලනය භාරගත්තේ. නමුත් අද වෙද්දී පොලිස්පති, ආරක්ෂක ලේකම් කූඩුවේ. ජනාධිපතියි අගමැතියි විවිධ කමිටු පත්කරමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගන්න බැරි ආණ්ඩුවක් කරන්නේ අනුන්ට චෝදනා එල්ල කරමින් ඉන්න එක විතරයි.

LEAVE A REPLY