ජනතාව තමන් වෙත දිනා ගත හැක්කේ සහන පැකේජයන් ලබා දීමෙන් පමණක් යැයි සිතන ඇබ්බැහියකට දේශපාලකයින් විසින් ජනතාව පොළඔවා ඇති අතර එය මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තරම්ම ප‍්‍රබල විනාශකාරී ඇබ්බැහියක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

ඉතිහාසය පුරාම සිදු කළ අයුරින් මෙවරද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප‍්‍රධාන අපේක්‍ෂකයින් බොහෝ දෙනා විසින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිපත්තිවල දක්නට ඇත්තේ සහන පැකේජ ලබා දෙන බව කියන ආකර්ශනීය සුරංගනා කතා පමණයි. ජනතාවට මේ සහන පැකේජ ලබා දීම තුළින් රට ආර්ථික වශයෙන් කිසිසේත් ගොඩගත නොහැකි බව අප තේරුම් ගත යුතු යැයි මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා සඳහන් කරයි.

රටේ ආර්ථිකය සමාජ දේශපාලන තත්ත්වය හා ජනාධිපතිවරණයෙන් පත් වන ජනාධිපතිවරයාගේ ඉදිරි දැක්ම කෙබදු විය යුතුද යන කාරණා සම්බන්ධයෙන් මහාචාර්ය අතුකෝරාළ මහතා සමඟ ලංකා නිව්ස් වෙබ් අඩවිය සිදු කළ විශේෂ සාකච්ජාව ඇසුරෙන් සකස් කළ ලිපියකි මේ.

සාමාන්‍ය ජනතාවට පමණක් නොව මේ රටේ උගතුන් බුද්ධිමතුන් ඇතුළු සියලූ වෘත්තිකයින්ටත් දේශපාලඥයින් සහන පැකේජ ලබා දී තිබෙනවා. ඒවා බුක්ති විදින වෘත්තිකයින්ගෙන් මීට වඩා දෙයක් රටට යහපතක්  බලාපොරොත්තු විය නොහැකියි.

මෙවර ජනාධිපතිවරණ අපේක්‍ෂක සටන දෙස බැලීමේදී ඒ පිළිබදව සැළකිල්ලට ගැනීමේදී ප‍්‍රධාන වශයෙන් පෙනී යන කරුණක් නම් ප‍්‍රධාන ධාරාවේ දේශපාලන කඳවුරුවලින් ඉදිරිපත්වී  සිටින අපේක්‍ෂකයින් මෙතෙක් පැවැති දේශපාලන ධාරාවේ නොවන නවකයින් වීමයි. ගෝඨාභය රාජපක්‍ෂ, සජිත් පේ‍්‍රමදාස, අනුර දිසානායක ඇතුළු සියලූ අපේක්‍ෂකයින් ගත් කළ ඔවුන් මේ රටේ පාලනය භාර ගැනීමට සූදානමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ  පළමු වරටය.  ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන දෙස බැලීමේදී ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ යම් සාධනීය ලක්‍ෂණ දක්නට ඇත. එමෙන්ම  ප‍්‍රායෝගික නොවන බොහෝ දෑ ඇතුළත්ව තිබේ.

යම් යම් පාර්ශවයන් දිනා ගැනීම සදහා ඉටු කිරිමට නොහැකි දේවල් ඉදිරිපත් කර තිබෙනු දක්නට ඇත. තවද සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්තිවල දක්නට ලැබෙන්නේ සහන පැකේජ්ය. ජනතා විමුක්ති පෙරමුණ ගත් විට ඔවුන් විවිධ අංශ වලින් රටේ දියුණුවට සිදු කරන දේවල් ගැන කතා කරමින් හිඳියි.

වැදගත්ම දේ දේශපාලන ස්ථාවරත්වය 

මේ අපේක්‍ෂකයින් පිරිස අතුරින් කවරෙකු බලයට පත් වුවද කුමන පාර්ශවයක් බලයට පත් වුවද මුලින්ම සිදු කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගීම බව මහාචාර්යවරයා පෙන්වාදෙයි.

රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගීම තුළින් පහසුවෙන් ඊළග පියවර වන ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීම ආරම්භ කළ හැකියි. රටේ ඊළග නායකයා එසේ සිදු කිරීමට අපොහොසත් වන්නේ නම් සිදු වන්නේ පසුගිය වසර හතරහමාරක කාලය පුරා සිදු වූවාක් මෙන් රට විශාල වශයෙන් කඩා වැටීමකට ලක්වීමයි. දේශපාලන ස්ථාවරත්වය ඇති රටකට පහසුවෙන් ආයෝජන ගලා ඒම තුළින් ඒ රටේ ආර්ථික ස්ථාවරත්වය ඉබේම සකස් වෙයි. එය ඉතා සරළ පහසු තේරුම් ගැනීමකි.

අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වී රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට නම් පත් වන පාලකයා මුලින්ම කළ යුතු වන්නේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරිමයි. ජාතික ආරක්‍ෂාව ඇති තැනක ආර්ථික සුරක්‍ෂිතභාවය ඇති වෙයි. ඊළගට සිදු කළ යුතු වැදගත්ම දේ නම් අල්ලස, දූෂණය , ගසා කෑම් වලින් පිරී පවතින රටේ අකාර්යක්‍ෂම පරිපාලනය වෙනුවට ජනතාවට තම සේවා අවශ්‍යතාවයන් පහසුවෙන් ඉටු කර ගත් හැකි කාර්යක්‍ෂම පරිපාලන ක‍්‍රමයක් බිහි කිරීමයි.

ඊළග වැදගත් කරුණ නම් රටේ තරුණ පරපුර වෙලා ගෙන පවතින මත් ද්‍රව්‍ය උවදුර වහාම මර්ධනය කිරීමයි. රටේ ශ‍්‍රම බලකායට වැදගත් තරුණ  සමාජය මත් ද්‍රව්‍යවලින් බේරා ගත යුතුයි. තරුණ පරපුර විනාශ වීම යනු රටේ කොදු නාරටිය කඩා දැමීමයි. අනෙක් වැදගත් කරුණ නම් ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු රටට ඔරොත්තු නොදෙන ආකාරයෙන් පවතින දේශපාලන අධිකාරිය නඩත්තු කිරීම සදහා මහජන මුදල් යොදා ගැනීම වහාම නැවැත්වීමයි.

අප වැනි කුඩා රටක මේ තරම් විශාල දේශපාලන අධිකාරියක් මහජන මුදලින් නඩත්තු කිරීමෙන් රටට අත් වන වාසිය කුමක්ද? සාමාන්‍ය මිනිසුන් මත මේ බර පැටවීම නැවැත්විය යුතුයි. අද වන විට අප ණය බරින් හෙම්බත් වූ රටක්. අපේ ආදායම ණය ගෙවීමටවත් ප‍්‍රමාණවත් නැහැ. එසේ තිබියදී මේතරම් මුදලක් වියදම් කර මේ ආයතන නඩත්තු කිරීම මොන තරම් හානිදායක දැයි සිතා බැලීමට කාලය පැමිණ තිබේ.

සහනාධාරම  හොයන තරමට ජනතාව උදාසීනයි 

තවත් වැදගත් කාරණයක් වන්නේ සහනාධාර ලබා දීමේ ක්‍රමවේදයයි. අවස්ථාවාදී දේශපාලනය විසින් සහනාධාර මත යැපෙන ජන කොට්ඨාසයක් නිර්මාණය කරමින් තිබේ. මේ වන විට ජනතාවත් ඊට ඇබ්බැහි වී සිටින අතර මැතිවරණයකදී ලැබෙන සහනාධාර පැකේජය මත කතිරය ගැසීමට තරම් උදාසීන ජනතාවක් මේ මහපොළවට දායාද වී තිබීමම කණගාටුදායක තත්ත්වයකි.

එය මේ රටේ මත් ද්‍රව්‍ය උවදුරටත් වඩා එය භයානකය. තවමත් අපේ ගොවියාට පොහොර නිකම් දෙන්නත් ඔවුන් එසේ නිකම් දෙන තුරු බලා සිටින්නෙත් ගොවි තැනින් ගොවියාගේ අතමිට සරු කිරීමට නොහැකි වීම නිසා බව අප තේරුම් ගත යුතුයි. ගොවි තැනින් ජීවත්වීමට සරිලන තරම් ආදායමක් උපයාගත නොහැකිව ගොවියා තවමත් ලතවේ.

දශක ගණනාවක් පුරාමත් අදත් මැතිවරණ වේදිකාවේ පාලකයින් වෙන්න බලා සිටින පිරිස් කෑ මොර දෙන්නේ ජනතාවට නොමිලයේ දෙන දේවල් ගැන පවසමිනි.

මේ තත්වය ඉතාම කණගාටුදායක අතර රටක් ලෙස ලැජ්ජා විය යුතු තත්වයකි. අනෙක් අතට මෙලෙස  ගොවීන්ට පොහොර නොමිලේ ලබා දීමෙන් තව අවුරුදු දහයක් පමණ ගතවන විය ජනතාව මියැදෙන්නේ විෂ ශරීර ගත වීමෙනි.

මේවන සහනාධාර දේශපාලනයකින් රටක් දියුණු කළ හැකිද?

රටේ අධ්‍යාපනය සදහා වියදම් කරන අති වශාල මුදල් කන්දරාව ගැන බැලීමේදී අපට රටට වැඩදායි පුරවැසියෙකු බිහි කිරිමට හැකි වී නැත.

ආර්ථික වශයෙන් එදා අපිට වඩා බොහෝ පිටුපසින් සිටි සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල් අද විශාල වශයෙන් දියුණු වී සිටින්නේ එම රටවල් තමන්ගේ හැකියාවන් හදුනා ගැනීම හේතුවෙනි. එහෙත්  අපි තවමත් රටක් ලෙස  අපේ හැකියාවන් හදුනාගෙන නැත.

සරත් සමරනායක – මහනුවර

LEAVE A REPLY