ග්‍රාමශක්ති ජනතා වැඩසටහන යටතේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් රුපියල් ලක්ෂ 800ක වියදමින් සංවර්ධනය කෙරුණු අනුරාධපුර, පලුගස්වැව , ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ සිදු විය.

2018 දෙසැම්බර් 21 වනදා ජනාධිපතිතුමා පථගස්දමන, ආසිරිගම ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එහි දී ජනතාව තම දුෂ්කර ජීවිතය පිළිබඳ ගැටලු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

එහි දී ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව දිළිඳුකම පිටුදැකීම උදෙසා ජනාධිපතිතුමා විසින් ආරම්භ කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සාමාජික ගම්මානයක් ලෙස යුද හමුදාවේ ද සහාය ඇතිව ආසිරිගම සක්‍රීය ව සංවර්ධනයට ලක් කෙරිණි.

ප්‍රදේශයේ විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම, පාසලේ නව ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සහ පෙර පාසල් දෙකක් ඉදිකිරීම, සේවා පියස ගොඩනැඟිල්ලක් ඉදිකිරීම මෙන්ම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ද මේ යටතේ සිදු විය. ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් වූ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ද කඩිනමි පියවර ගැනිණි.

ආසිරිගම ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලමින් නිවාස 43ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ යටතේ වැඩ නිම කළ නිවාස 22ක් ජනතා අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමා අතින් සිදු විය.

තම ඉල්ලීම්වලට ඇහුම්කන් දෙමින් ඒවා ඉටුකර දීමට කටයුතු කිරීම පිළිබඳව මෙහි දී ප්‍රදේශවාසී ජනතාව තම කෘතවේදිත්වය ජනාධිපතිතුමා වෙත පළ කර සිටියහ.

නව නිවාස ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් නිවාස දෙකක් විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. අනතුරුව පැවති උත්සව සභාවේ දී සෙසු නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY