කාන්තාවන් ජීවිතයේ විවිධ අවස්ථාවන්වලදී විවිධාකාර අභියෝගවලට මුහුණ දෙනුයේ ඇයව ස්වභාව ධර්මයෙන්ම සුවිශේෂී අයුරෙන් මවා ඇති නිසාවෙනි. එකී කාන්තාව ශ්‍රම බළකායට එක්වී ආර්ථික කටයුතුවලට දායක වීමේදී ඇයගේ මෙම සුවිශේෂීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයට නීති රීති පවා සකස් කිරීමට සිදුව තිබේ. කාන්තාවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් හා ඇයට හිමි ප්‍රසූත නිවාඩු හා මාතෘ නිවාඩු සම්බන්ධයෙන් මෙකී නීති රීති අතරින් වැඩි අවධානයක් යොමුවනු දැකගත හැකිය. වැඩකරන කාන්තාවන්ට හිමි එම ප්‍රසූතිකාධාර සම්බන්ධයෙන් වන අණ පනත් පිළිබඳව නියෝජ්‍ය කම්කරු කොමසාරිස් රූපිකා රණවක මහත්මිය %මවුකිරි ප්‍රවර්ධනය කිරීමේ සතිය^ වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් ඉදිරිපත් කළාය.

මවකගේ දරු සෙනෙහස , මව හා දරුවා අතර ඇති බැඳීම පිළිබඳ අපි හැමෝම හොඳින් දන්නා දෙයක්. ඒ එක්කම සේවා නියුක්ත කාන්තාවක් මවක් වුණාම ඇය හා ඇගේ දරුවා අතර ඇති බැඳීම පිළිබඳවත් අපිට හිතන්නට වෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව විසින් පුද්ගලික අංශයේ සේවය කරන මවකට තමන්ගේ දරුවෙකුට මවුකිරි දීම සඳහා සම්මත වී ඇති නීති ක්‍රියාත්මක කරනු ලබනවා.  අපි මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අදාළ කරගන්නා ප්‍රධාන පනත් කිහිපයක් තිබෙනවා.

1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත 

අපි නිදහස ලබන්නත් පෙර සිටම මේ මාතෘ නිවාඩුවල වැදගත්කම හඳුනාගෙන තිබෙනවා. මේ පනතේ සංශෝධන කිහිපයක් සිදුවී තිබෙනවා. එහි ප්‍රධාන සංශෝධනයක් තමයි 2018 ජූනි මස සම්මත වූ 2018 අංක 15 කියන ප්‍රසූතිකාධාර සංශෝධන පනත.

මේ පනත වලංගු වන්නේ කර්මාන්ත අංශයේ සේවිකාවන්ටයි.

සාප්පු හා කාර්යාලවල සේවය කරන අයට අදාළ නීති සඳහන් කර තිබෙන්නේ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක ( සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත තුළ  18 වැනි වගන්තිය තුළයි.

මීට අමතරව අපි රාජ්‍ය සේවකයන් පිළිබඳ යම් අවධානයක් යොමු කළොත් රාජ්‍ය සේවයේ යෙදෙන මවකට අදාළ වන නීති රීති සඳහන් වෙන්නේ ආයතන සංග්‍රහයේ නිවාඩු සම්බන්ධයෙන් වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 04/2005 යටතේයි.

1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත 

1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥා  පනතේ අරමුණු කිහිපයක් අපිට මෙසේ හඳුනාගත හැකියි.

දරු ප්‍රසූතියක් සඳහා සේවිකාවනට නිවාඩු ලබා දීම.

ප්‍රසූත නිවාඩු කාලයට මුදල් ප්‍රතිලාභ ලබාදීම.

දරුවාට මවුකිරි දීම සඳහා විවේක කාල ලබාදීම. 

දරුවාට අවුරුද්දක් වන තුරු දරුවාට මවුකිරි ලබා දිය යුතුයි කියන එක මෙහිදී අවධාරණය කර තිබෙනවා. 

එනම් අර්ධ වැටුප් හා වැටුප් රහිත නිවාඩු ගැනීමේ හැකියාව හා දරුවාට අවුරුද්දක් වන තුරු කිරි පැය විවේක ලබාදීම යන ඒවා මෙයට ඇතුළත් වෙනවා.

මවගේ හා දරුවාගේ ආරක්ෂාව සඳහා නෛතික ප්‍රතිපාදන සැලසීම.

මේ යටතේ ගර්භිණී සමයේ මාස 05 සම්පූර්ණ වූ පසු කළලයට හානි විය හැකි කිසිම කාර්යයක හෝ රාජකාරියක මවව යෙදවිය නොහැකියි යනුවෙන් සඳහන් වෙනවා. මීළඟට දරුවා ප්‍රසූත වූ පසු මාස තුනක් යන තුරු මෙවැනි අවදානම් ක්‍රියාවන්හි යෙදවිය නොහැකි  ලෙස පනතේ ප්‍රතිපාදනවල සඳහන් කර තිබෙනවා.
2018 සිදු වූ සංශෝධනය අනුව සියලුම දරු උපත් සඳහා මේ සියලු ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. එනම් සියලුම ළමයින් එක හා සමාන ලෙස මෙයින් සලකා තිබෙනවා.

ප්‍රසූත නිවාඩු ලබාදීම – සජීවී දරු උපත් සඳහා

ඕනෑම සජීවී දරු උපතක් සඳහා සති 12ක ප්‍රසූත නිවාඩුවක් ලැබේ.

එයින් සති 02ක් ප්‍රසූතියට පෙර ලබා ගත හැකි අතර, සති 10ක් ප්‍රසූතියට පසු ලබා දිය යුතු වේ. 

ප්‍රසූතියට පෙර ලබා නොගන්නා නිවාඩු ප්‍රසූතියට පසු සති 10 අවසන් වන දිනයේ සිට ලබා දිය යුතු වේ. 

සති 12ක කාලය අනෙකුත් හිමි නිවාඩු දිනයන්ට අමතරව ලබාදිය යුතු වේ.

(සාප්පු හා කාර්යාල පනතේ මෙය වැඩකරන දින 84ක් ලෙස දක්වා තිබේ. ඒසේම යම් යම් පඩි පාලක සභා 42ක් යටතේ ක්‍රියාත්මක ආයතනවල මේ සම්බන්ධ නිවාඩු එකිනෙකට වෙනස් වේ.)

ප්‍රසූත නිවාඩු ලබාදීම – අජීවී දරු උපත් සඳහා අජීවී දරු උපතක් සඳහා සති 06ක නිවාඩුවක් ලැබේ.

ප්‍රසූතියට පෙර සති 02 ක් හා ප්‍රසූතියට පසු සති 04ක් වශයෙන් ලබා දිය යුතු වේ.

ප්‍රසූතියට පෙර ලබා නොගන්නා නිවාඩු ප්‍රසූතියට පසු සති 04 අවසන් වන දිනයේ සිට ලබා දිය යුතු වේ. 

සති 06ක කාලය අනෙකුත් හිමි නිවාඩු දිනයන්ට අමතරව ලබාදිය යුතු වේ.

දරුවාට මවුකිරි දීම සඳහා විවේක කාල ලබා දීම

සම්පූර්ණ වැඩ දිනයකදී උදෑසන පැයක් හා සවස පැයක් වශයෙන් දරුවාට වයස අවුරුද්දක් වන තුරු මෙම විවේක කාල ලබා දිය යුතු වේ.
දිනකට පැයකට නොඅඩු විවේක කාල 02ක් ලබා දිය යුතු අතර මෙය ලබා ගන්නා වේලාව තීරණය කිරීමට මවට හැකියාව ලබා දී තිබේ. කිසිදු අවස්ථාවක සේවා යෝජකයාට එය තීරණය කළ නොහැකිය.

මවුකිරි දීම සඳහා දාරකාගාරයක් හෝ සුදුසු ස්ථානයක් පවතින විට, විවේක කාලය පැය ½ කට නොඅඩු විවේක කාල 02ක් ලෙස ලබා දිය යුතුය. මෙහිදී ඇතැම් ආයතන සිය ප්‍රධාන කාර්යාලයේ දාරකාගාර පවතින අවස්ථාවන් හිදී පැය ½ විවේක කාල දෙක ලබා දීමම, දාරකාගාර නොමැති ප්‍රාදේශීය ශාකාවන්හි සේවය කරන මවුවරුන්ටද අදාළ කර ගන්නා අවස්ථා පිළිබඳ වාර්තා වේ. 

එවැනි තත්ත්ව කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දී තමන්ට හිමි පැය 2ක විවේක කාලය ලබා ගැනීමේ අවස්ථාවක් පවතී. මෙලෙස විවේක කාලය ලබා ගන්නා වේලාව සේවිකාවට පහසු වන ආකාරයට ලබා ගැනීමට ඉඩ හැරිය යුතු වේ.

මවගේ හා දරුවාගේ ආරක්ෂාව සඳහා නෛතික ප්‍රතිපාදන සැලසීම

දරු ප්‍රසූතියක් සිදුවූ සේවිකාවක් එම දිනයේ සිට මසක් ඇතුළත සේවයේ නොයෙදවිය යුතුය.

දරු ප්‍රසූතියට මාස 03කට පෙර සහ මාස 03කට පසු කාල සීමාව තුළ කළලයට හෝ මවට හානිකර වන ආකාරයේ වැඩ නොපැවරිය යුතුය.

දරු පිළිසිඳ ගැනීම හෝ ඒ හා සම්බන්ධිත රෝගී තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල නොවේ.  

1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා වේතන විධිමත් කිරීමේ ) පනතේ (18 වැනි වගන්තිය) යටතේ ප්‍රසූත නිවාඩු හිමිකම

ඕනෑම සජීවී දරු උපතක් සඳහා වැඩ කරන දින 84ක ප්‍රසූත නිවාඩුවක් ලැබේ. (අජීවී දරු උපතකදී මෙය දින 42කි.)

එයින් උපරිම දින 14ක් ප්‍රසූතියට පෙර හා දින 70ක් ප්‍රසූතියට පසුව ගත හැකිය.

ප්‍රසූතියට පෙර ලබා නොගන්නා නිවාඩු දින ගණන, ප්‍රසූතියට පසු දින 70 අවසන් වන දිනයේ සිට ලබා දිය යුතු වේ

රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ අංක 04/2005 අනුව, සම්පුර්ණ වැටුප් සහිත නිවාඩු

සෑම සජීවී දරු උපතකටම රජයේ වැඩ කරන දින 84

දරු ප්‍රසූතිය සිදු වී සති 4ක් යෑමට පෙර සේවයට වාර්තා කිරීමට ඉඩ නොදේ.

අවුරුද්දේ ඉතිරිව තිබෙන නිවාඩුවලින් අඩු නොකළ යුතුය.

දරුවා උපතේදී හෝ ඉපදී සති 06ක් යෑමට පෙර මරණයට පත් වුවහොත් සති 06ක නිවාඩුවක් හිමි වේ.

අඩ වැටුප් සහිත සහ වැටුප් රහිත ප්‍රසූත නිවාඩු

දරුවා රැක බලා ගැනීම වෙනුවෙන් හිමි වේ. 

අඩ වැටුප් සහිත නිවාඩු දින 84 

වැටුප් රහිත නිවාඩු දින 84

 සති අන්ත සහ රජයේ නිවාඩු දින ඇතුළත් වේ.

දරුවා මිය ගියහොත් මිය ගොස් දින 07කට පසු මෙම නිවාඩු අවලංගු වේ.

වැටුප් වර්ධක, උසස් වීම් හා විශ්‍රාම වැටුප් කෙරෙහි බලපෑම් ඇති නොකරයි. 

මවු කිරි දීමේ විවේකය

අඩ වැටුප් සහිත නිවාඩු ලබා නොගන්නේ නම්, දරුවාට මාස 06ක් සම්පූර්ණ වන තෙක් පැයකට කලින් සේවා ස්ථානයෙන් බැහැර වීමට අවසර දිය යුතුය.

ගර්භිණී අවස්ථාවේදී විශේෂ සහන

ගර්භිණී අවස්ථාව මාස 05ක් සම්පූර්ණ වූ විට,

සේවා ස්ථානයට පැය ½ක් ප්‍රමාද වී පැමිණීමට හා පැය ½ක් කලින් සේවා ස්ථානයෙන් බැහැර වීමට අවසර දීම. 

කම්කරු දෙපාර්තමේන්තුව ලෙස අපි මවුවරුන්ගෙන් ඉල්ලන්නේ මේ පනත් ක්‍රියාත්මක නොකරන අවස්ථාවන් අපිට දැනුම් දෙන්න කියන එකයි. විශේෂයෙන් 2018 වර්ෂයේ සිදුවූ සංශෝධන ප්‍රකාරව කටයුතු නොකරන ආයතන පිළිබඳවත් දැනුම් දිය හැකියි. කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු දෙපාර්තමේන්තුවට 011 2369800/ 0112369297 යන අංක හරහා හෝ දිස්ත්‍රික්ක කම්කරු ආයතන අපේ රටේ 40ක් පිහිටා තිබෙනවා. ඒවාට හෝ උපකම්කරු ආයතන 17ක් තිබෙනවා. ඒවාට දුරකථනයෙන් හෝ ලිඛිතව දැනුම් දීමක් නිර්නාමිකව වුවද සිදුකළ හැකියි.

නදීශානි පතිරණ

LEAVE A REPLY