තුරුණු කිවිවර ගයාන් පීරිස් ‘බිඟුන් මේ ගයනවා නොවේ’ නමින් සිය තුන්වන කාව්‍යමය ප්‍රයත්නය සහෘදගත කරන්නට සැරසෙයි. එය නිමිති කරගෙන අප ඔහු සමඟ කළ සංවාදය මතු දැක්වෙයි.

#. ගයාන් පීරිස් කියන්නෙ කවුද?

සුනිල් පීරිස් කියන වඩු බාසුන්නැහෙගේ සහ රෝහිණි කියන කිරි ක ප න්නි යගේ ලොකු කොල්ලට. අමාරු වුණත් මහ පොළොවට අඩිය තියලා ඉන්න බලන එකෙක්. කවුරුත් මිනිස්සු කියලා හිතන එකෙක්. නිර්වචන නැති ‘කවිය’ කියන දේට ආදරේ, එහෙම ඒවා ලියන්න උත්සාහ ගන්න කෙනෙක් කියල හිතෙනව.

#. ඇයි ඔබ කවි ලියන්නේ?

මට හිතෙන්නෙ කවිය කියන්නේ සමස්තය. කවිය ඇත්තටම තියෙන්නේ සොබාදහම සමඟ නොලියැවී. හැම දෙයක් තුළ ම කවිය පවතිනවා කියලා විශ්වාස කරනවා. හැම තැන ම කවිය තියෙනවා කියලා හිතනව. ඒවා ලියන්න සංවේදීකමක් තියෙන මනුස්සයො උත්සාහ කරනව. එහෙම ලියන සමහර නිර්මාණ මිනිස්සු කැමැත්තෙන් විඳිනවා. සමහර ඒවා කවියා විතරක් විඳිනව. මටත් දැනෙන දේ මම ලියනවා. සමහරු ඒවා කවි කියනවා. විඳිනවා කියලත් කියනවා. කොහොම වුණත් තමන් ලබන ඒ වින්ඳිතය හිත පාරවන්න පාරවන්න අකුරු කළොත් හිත නිදහස් කර ගන්න පුළුවන්. ඒක දැඩිව පිළිගන්නව. කවිය ලිවුව ම මහ බරක් නිදහස් වගේ දැනෙනව. කවුරුහරි ඒක මට දැනුණු විදියට වින්ද ම මාර සතුටක් දැනෙනව. ඉතිං මං ලියනව.

#. මේ ඔබේ තුන්වන කවි පොත. කලින් පොත් දෙක ගැන යමක් කියන්න?

මගේ පළවෙනි පොත ලියන්නේ කැම්පස් එකේ තර්ඩ් ඉයර් එකේදී. ඒ කිවුවෙ 2006දි. ඒ කාලෙ දැනිච්ච ඒවා ලිවුව. මට පොඩි කාලේ ඉඳන් හතර පද ගලපන්න පුළුවන් . තව මම විශ්වාස කරනව ලංකාවෙ මිනිස්සුන්ට ජානමය හැකියාවක් තියෙනව කියල තාලෙට එහෙම ත් නැත්තං රිද්මයකට හතර පද දෙපද ගලපගන්න. ඒක මගේ පෞද්ගලික විශ්වාසයක්.කැම්පස් එකේ  කොල්ලන්ට, කෙල්ලන්ට ම ඩ ගහන අතරේ ලෙක්චර්ස්ලට ත් ම ඩ ගැහුව හතර පදයෙන්. හොඳ හොඳ පනිෂ්මන්ට් පවා නො කෑ ව කිවුවොත් බොරු ඒව ලියල. ඊට අවුරුදු 12කට පස්සේ දෙවෙනි පොත ලිවුව. මං විශ්වාස කරනව රිද්මයක් එක්ක මේව ලියැවුණා ම මිනිස්සු ගොඩක් කැමති කියල. ඒ නිසා ලියද්දි රිද්මය ගැන මං ටිකක් සැරට බලනව. මං මගේ ආචාර්ය උපාධිය කරන්නෙත් සිංහල කවියේ රිද්මය තේමා කරගෙන.

#. දැන් කියන්න ඔබේ අලුත්ම කාව්‍යමය ප්‍රයත්නය ගැන?

තුන්වෙනි පොත තමයි මේ. ‘බිඟුන් මේ ගයනවා නොවේ’ මට ගොඩක් දුරට දැනෙන්නෙ දුක් විඳින මිනිස්සුන්ගෙ දේවල්. මොකද මමත් ඇති වෙන්න ඒක ගැන දන්න නිසා. මේ පොතත් මං ඒ මහ පොළොවේ මිනිස්සුන්ට ම දෙනව. මට මගේ වගේ දැනෙන ඒ අත්දැකීම් මං වචනවලට ගන්න බැලුව මේ පොතෙන්.මං කැමති මං වගේ මිනිස්සුන්ගේ හදවත ගැහෙන හඬට කන් දීලා මට පුළුවන් විදියට ඒක නිර්මාණයකට ගන්න. මට හිතෙනවා නිර්මාණකරුවන් විදියට අපිට සමාජමය වගකීමෙන් මිදෙන්න බෑ. අපි නිර්මාණශීලිත්වය උපයෝගී කරගෙන සමාජ කතිකාවතක් ගොඩනැඟිය යුතුයි. කොහොමත් දේශපාලඥයන්ට වඩා හෘදයාංගම ව මිනිස්සුන්ට කතා කරන්න නිර්මාණකරුවන්ට පුළුවන්. මගේ උත්සාහයත් ඒකට.

#. පොත එළිදකින වැඩේ වෙන්නේ කොහොමද?

දවස හරියට ම 2019/09/19. එහෙම නැත්තං මේ මාසෙ 19. තැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරය. කවුරුත් දන්න යූ.ජී.සී එකේ. පොත ගැන කතා කරන්නේ ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩාර සහ ප්‍රවීණ සාහිත්‍යධර අනුර කේ එදිරිසූරිය. කථනය ගුවන්විදුලි නිවේදක සම්පත් සල්පිටිකෝරාළ. ගායක සමන් ලෙනින් සහෝදරයා අපි දෙන්නගෙ අලුත් ම සිංදුවත් කියනව. මං හැමෝට ම විවෘත ව සහ ගෞරවනීය ව ආරාධනා කරනව එන්න කියල.

#. මේ පොත ඔබ ඔබෙන් නිදහස් වීමක්ද?

නැහැ, කොහෙත් ම නැහැ! අපිට තරුණ පරම්පරාව විදියට අපේ වගකීමෙන් මිදෙන්න පොතක් දෙකක් ලියලා විතරක් බෑ. ඊට එහා ගිය මානුෂීය වගකීම් ගොඩක් තියෙනව. ඒ වෙනුවෙන් අපි හැකි විදියට දායක වෙන්න ඕන කියන එකයි මගේ හැඟීම. එක්තරා විදියකට මානුෂික ව මම නිදහසක් ලබනව අනිත් හැම නිර්මාණකරුවෙක් වගේ ම දරාගන්න බැරිවුණු දේවල් අකුරු කරලා වෙනස් විදියට පිටකර ගන්න ලැබීම ගැන. මොකද මං කැති පොලු අරගෙන හරි ගල්කටස් එකක් අරගෙන හරි ඒ පීඩනය පිට කළේ නෑ.

#. ඉදිරි වැඩ කටයුතු වෙන්න නියමිත කොහොමද?

නිර්මාණ ගොඩක් හිතේ තියෙනවා. ගීතය තමයි ඊළඟට වැඩියෙන් ම අල්ලන්න හිතේ තියෙන්නෙ. ඒක ඉතිං සල්ලි ගොඩක් යන වැඩක්. ඒත් මෙච්චර කල් අත් නෑරියා වගේ ඒකත් අතාරින්නෙ නෑ. ගස් ඉදිරිලා වැටුණත් එක මුලක් හරි පොළොවෙ ඉතිරි වෙනව. ඒකෙනුත් ජීවත් වෙනව. ප්‍රභාසංස්ලේෂණය දිගට ම කරනව.

සංවාදය – කසුන් සමරතුංග

LEAVE A REPLY