පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු එවකට හමුදාපති මහේෂ් සේනානායක මහතාට වුවමනා වී තිබුණේ හමුදාපති තනතුර දරමින්ම රටේ පාලකයා වන්නටය. රටේ පාලනය මාස තුනකට භාරගන්නා මෙන් තමන් යන යන තැන ජනතාව තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඉන් ඉදිරියට පියවරක් යෑමට හැකියාවක් ඔහුට ලැබුණේ නැත.

ඔහුගේ ඊළඟ ඉලක්කය වී තිබුණේ කෙසේ හෝ තවත් වසරක් සඳහා සේවා දිගුවක් ලබා ගැනීමටය. ඒ සඳහා රට අනාරක්ෂිත බවට මාධ්‍ය ඉදිරියේ නොයෙකුත් ප්‍රකාශ කරමින් සහ විටින් විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුපස යමින් තමන්ට තවත් වසරක් හමුදාපති ලෙස සේවය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම් මෙන්ම ආයාචනා ද සිදුකළ නමුත් ජනාධිපතිවරයාගෙන් ඊට ප්‍රතිචාර නොලැබුණු බැවින් ඔහුට සිදුවුණේ විශ්‍රාම යාමටය.

විශ්‍රාම ගිය සැණින් ඔහුගේ බලාපොරොත්තුව වූයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමය. ඒ සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ද අනුබලය ඇතිව පාර්ශ්ව කිහිපයක්ම සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් ඒවාත් අසාර්ථක විය.

අවසානයේ පසුගිය සතියේ ප්‍රසිද්ධ කැබිලිත්තේ දේවාලය කරා ගොස් ඇති මහේෂ් සේනානායක මහතා තමන්ට තානාපති තනතුරක් හෝ ලබාදෙන ලෙස කැබිලිත්තේ දෙවියන්ට යාතිකාවක් සිදු කර ඇති බව වාර්තා විය.

කැබිලිත්තේ දෙවියන්ගේ ප්‍රතිචාරය

ඇත්තෙන්ම ඉතාම පහසුවෙන් මහේෂ් සේනානායක මහතාට ලැබෙන්නට තිබුණු තානාපති තනතුර ඔහු නැති කරගෙන ඇත්තේ ඔහුගේම කට නිසාය. මුලදීම කට පරෙස්සම් කර ගත්තේ නම් තවත් වසරක් සඳහා සේවා දිගුවක් පවා ඔහුට ලැබෙන්නට ඉඩ තිබිණි.

ඉතින් තානාපති තනතුරක් ලබාගැනීම සඳහා කැබිලිත්තේ දෙවියන්ට බාරහාර වීමෙන් තේරුමක් නැත. ඔහු නොයෙක් නොයෙක් ආකාරයෙන් රජුන් පිනවීම කරගෙන යන බැවින් මේ මොහොතේ කළ යුතුව ඇත්තේ මොකුත්ම අනවශ්‍ය කතා නොකියා කට පියාගෙන සිටීමය. එවිට තානාපතිකම ලැබෙනු ඇත.

මෙය කැබිලිත්තේ දෙවියන්ගේ උපදේශය ලෙසින්ම ඔහු භාරගත්තත් කමක් නැත.

LEAVE A REPLY