ඊයේ දින (16වැනිදා) ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ මහාධිකරණයේ වහලයේ සිවිලිමේ කොටසක් ක ඩා වැ ටී තිබේ. අධිකරණ ශාලාවලට විනිසුරුවරුන් ගමන් ගන්නා මාර්ගයේ පිහිටි සිවිලිමේ කොටසක් මේ ආකාරයෙන් කඩා වැටී ඇති අතර ඉන් කිසිවකුටත් හානි සිදුවී නැත. මේ පිළිබඳව මහාධිකරණ බලධාරීන් විසින් අධිකරණ අමාත්‍යාංශය ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම කඩා වැටීම සිදු වූ සිවිලිමේම කොටසක්ද තවදුරටත් කඩා වැටීමේ අවදානමක් පවතින හෙයින් විනිසුරුවරු අධිකරණ ශාලාව වෙත ගමන් ගන්නා මාර්ගය වසා දැමීමට මහාධිකරණ බලධාරීන් පියවර ගෙන ඇත.

මහාධිකරණ සංකීර්ණ වහලයේ ඇතැම් ප්‍රදේශ කඩා වැටීමේ අවදානමක් තිබෙන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම කොළඹ නීතිඥ සංගමය විසින්ද අදාළ බලධාරීන් දැනුවත් කළත් ඒ පිළිබඳව මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව නීතිඥවරු කිහිපදෙනෙක් සඳහන් කර සිටියහ. මහජනතාව ගැවසෙන දහවල් කාලයේ මෙම සිවිලිම කොටස කඩා වැටීම සිදුවූයේ නම් පුද්ගලයන් කීපදෙනකු දැඩි අනතුරකට භාජනය වීමට ඉඩකඩ තිබූ බවද ඔවුහු පෙන්වා දෙති.

LEAVE A REPLY