2005 ජනාධිපතිවරණය සඳහා භාවිතා වූ ඡන්ද හිමි නාමලේඛනයට එවකට ඇමරිකානු පුරවැසියන් වූ තමන්ගේ සහ තම බිරිඳගේ නම් ඇතුළත්ව තිබීම පිළිබඳව තමන් කිසිවක්ම නොදන්නා බැවින් ඒ සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ මහතාගෙන් විමසා බලන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් පැවැත්වෙන අතර ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ ඡන්ද හිමි නාමලේඛන සකස් කෙරුනු කාලසීමාව වනවිට තමන් ඇමරිකාවේ පදිංචිව සිටි බැවින් තමන් හෝ තම බිරිඳ මේ සම්බන්ධයෙන් කිසිවක්ම නොදන්නා බවයි.

එහෙයින් මේ පිළිබඳව ප්‍රශ්න කළ යුත්තේ ගෘහ මූලිකයා වන තම වැඩිමල් සොයුරු චමල් රාජපක්ෂ මහතාගෙන් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.

චමල් බේරාගන්න කවුරුත්ම නෑ !

මේ අනුව 2005 වසර වනවිට ඇමරිකානු පුරවැසියන් වූ ගෝඨාභය රාජපක්ෂ, අයෝමා රාජපක්ෂ සහ ජෝර්ජ් රාජපක්ෂ යන අයගේ නම් ඡන්ද හිමි නාමලේඛනයට නීතිවිරෝධී ලෙස ඇතුළත් කිරීම පිළිබඳ සම්පූර්ණ චෝදනාව චමල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වීමට නියමිත අතර ඔහුව ඉන් බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන තත්වයක් ද උද්ගත වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බරපතළ නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වී වැරදිකරු බවට පත්වුවහොත් චමල් රාජපක්ෂ මහතාට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වනවා මෙන්ම නැවත මැතිවරණයට තරග කළ නොහැකි වන පරිදි ඔහුගේ ප්‍රජා අයිතිය ද අහෝසි වනු ඇති බවයි නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

LEAVE A REPLY