ගස් අතු ඉති ශිශිරයක පැටලිලා. මම ඉන්නේ හල්මිල්ලවැටිය ගමේ. ගම කෙරෝලේ පුංචි පහේ තේ කඩයක්. කඩේ පියැස්සෙන් බිමට විසිකරන පුංචි දිය සීරාව දූවිලි මහ කන්දරාවක් තියෙන මහ පොළොව මතට වැටිල අතුරුදහන් වෙනවා. අෑතින් ආකාසය වසාගත්ත සුදු වලාකුළු වැස්ස වලාහක දෙවියන්ට තව තවත් ඇරැයුම් කරනවා. දෙයියන්ගේ රටේ හැමදාමත් වැස්ස නැහැ. මිනිස්සු ඉන්නේ වැස්සට කට බලියන් විදිහට. මම තේ කඩේ ඇතුළට රිංගනවා කහට උගුරක් බොන්න. පහළ තියෙන ගහක ඉහත්තෑවේ අත්තක ගුළිවුණු දඬු ලේනෙක් පිම්මක් පනින්නයි සූදානම. ඊට තරමක් අෑතින් තියෙන කෝන් ගහක ලොකු මී වදයක්. වැස්ස බලාගෙන ඉන්න පරිසරයත් බොහොම විචිත්‍රයි. අහසින් සුදු වලාකුළු යන්නෙම නෑ. ඒ නොයෑම චිත්‍රණය කරන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරත්වයක්. හේරත්හල්ලමිල්ලෑව, ඊට පස්සේ යකාවැව. ඊට පස්සේ තල්ගස්වැව. මේ ගම්මාන ඔක්කොම වගේ කැලෑ ගම්මාන.

වන්නි සිංහලයන්ගේ ගම්තුලාවල්. වන්නි සිං හලයෝ හැමදාමත් හේනක් කරගෙන ආකාස වැස්සට කුඹුරක් කරගෙන හිටිය උදවිය. මේ අය බාහිර සමාජයත් එක්ක මුහුවෙන්න ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ හින්දම ඒ අය ගාව වන්නි සිංහලකම තාමත් රැඳිල තියෙනවා. හල්මිල්ලවැටිය ගමේ භාගෙට භාගයක් වගේ ඉන්නේ වෛද්‍යවරු. ඇස් වෙදකම, ගෙඩි වෙදකම, සර්වාංග වෙදකම, පිලිස්සුම් වෙදකම මේ කියන වෙදකම්වලට නම් දරාපු වෛද්‍යවරු තමයි හල්මිල්ලවැටිය ගමේ වැඩිපුර ඉන්නේ. මීට අවුරුදු 13කට විතර කලින් මෙහෙම නිහඬ ජීවිතයක් තිබ්බ ගම්මාන එකපාරට උඩුයටිකුරු වෙනවා. ඇයි එහෙම වුණේ කියලා අදටත් ඒ මිනිස්සුන්ට හිතාගන්න බෑ. අම්ම අප්පා අහිමි වෙච්ච දරුවෝ කන්දරාවක් හරියටම කිව්වොත් 13ක්. තමුන්ගේ දුක සැප බෙදාගෙන හිටිය ස්වාමිපුරුෂයා අහිමි වෙච්ච කාන්තාවෝ 33ක්. ඒ විධියට ගත්තම මේ අවුරුදු 16ක කාලය තුළවත් ඒ අයට එහෙම නැත්නම් මේ වන්නි සිංහලයන්ට තමුන්ගේ ජීවිත ආයේ පාරක් එක පේළියකට ගේන්න බැරිවෙලා. තාමත් ඒ අය හඬා වැටෙනවා, හූල්ලනවා, ළතෝනි දෙනවා. ඒ තමුන් එක්ක ජීවිතේ දුක සැප බෙදාගෙන එකට හිටිය තමුන්ගේම අෑයෝ අහිමි වෙච්ච හින්දා. යකාවැව බස් බෝම්බය. යකාවැව බස් බෝම්බය හරියට පුපුරන්නේ කෝංගොල්ලෑවේදී. කැබිතිගොල්ලෑව, යකාවැව අතර දුවපු 63-2548 බස් එක 2006.06.15 කෝංගොල්ලෑවේදී ක්ලේමෝ ප්‍රහාරයට ලක්වෙනවා. බස් එකේ ගමන් කරපු 122ක් අතරින් 70ක් මියයනවා. ඒ 70 අතරේ හය හතර නොතේරෙන පුංචිම පුංචි දරුවෝ 16ක්. 69ක් තුවාල ලබනවා. ඉන් භාගයක්ම සදාකාලික අබ්බගාතයෝ. යකාවැව බස් බෝම්බේ ජීවමාන හොඳම සාක්ෂිකරුවා සොයාගෙන යන්නටයි අපි උත්සාහ දරන්නේ. එයා විමලෙ අයියා. විමලෙ අයියයි, ඉලංගෙ අයියයි තමයි යකාවැව, කැබිතිගොල්ලෑව බස් එකේ කොන්‍ෙදාස්තරයි ඩ්‍රයිවරුයි. බස් බෝම්බෙදි ඉලංගෙ අයියා එතැනම නැති වෙනවා. හැබැයි විමලෙ අයියා ජීවිතේ බේරගන්නවා. විමලෙ අයියගේ සම්පූර්ණ නම විමලදාසගේ රංජිත් කුමාර විමලදාස. විමලෙ අයියා කෝංගොල්ලෑවේ ඉපදුණු කෙනෙක්. කෝංගොල්ලෑවයි යකාවැවයි අතර තියෙන සම්බන්ධය එක්ක ගත්තම ඒ මැරිච්ච අය අතරේ විමලෙ අයියාගේ ඥාතීන් රොත්තකුත් ඉන්නවා. අපි විමලෙ අයියා හොයාගෙන ගියේ කැබිතිගොල්ලෑව ඩිපෝවට. තාමත් යකාවැව බස් බෝම්බේ කම්පනය දරාගන්න බැරි විමලෙ අයියා එක පාරටම අපිත් එක්ක කතාබහ කරන්න කැමැති වුණේ නැහැ. ටිකක් විතර අදිමදි කළා. අවුරුදු 13ක යටගියාව. හැමදාම විමලෙ අයියව තළා පෙළා දානවා ඇති.

මතක් කරන්න අමාරුයි මහත්තයා කෝංගොල්ල වැටියෙන් බස් එක එද්දී මට මිනිස්සු කෑ ගහනවා ඇහෙනවා. අඳෝනා තියනවා ඇහෙනවා. ඒ අපේම මිනිස්සු. ඒ හින්දා අතීතය මතක් කරන්න මම කැමැති නැහැ. විමලෙ අයියා එහෙම කියනවා. එයා කියන එක හරි. ඒක ඇත්ත . විමලෙ අයියා අමතක කරන්න හදන අතීතය පත්තරකාරයෝ විධියට අපි හාරවුස්සන්න හදනවා. යා දෙක නොරත රත. ඒත් කරන්න දෙයක් නැහැ. මම විමලෙ අයියට ඉඩ දෙනවා. එයා නිශ්ශබ්ද විලියම් කෙනෙක් බවට පත්වෙනවා. ආගිය තොරතුරු කතා අස්සේ විමලෙ අයියාගෙ කටින් බස් බෝම්බ කතාවක් පිටවෙනවා. කොච්චර කතා නොකර ඉන්න උත්සාහ ගත්තත් විමලෙ අයියාගේ ජීවිතයට යකාවැව බස් බෝම්බෙ එතරම්ම තදින් බැඳිලා. වැස්ස පරක්කුයි කියන විමලෙ අයියා ඊ ගාවට කියන්නේ කොහොම හරි, හරියට කුඹුරු කොටන්න ගම්වල මිනිස්සු නෑ කියලා. එයත් හූල්ලනවා. එතකොට මට දැනෙනවා මේ මනුස්සයාගේ පපුව අස්සේ තියෙන වේදනාව. ආයේ පාරක් හිත එකලස් කරගත්තු විමලෙ අයියා ලංගම ඩිපෝවලට වෙලා තියෙන දේ ගැන වැල් වටාරම් කියවනවා. ඒ කියන අවුඅස්සේ යකාවැව බස් බෝම්බය කරළියට එනවා. විමලෙ අයියා කිව්ව කතා ගොන්න ඇතුළෙ තිබුණු යකාවැව බස් බෝම්බෙ කතාව මම මේ විධියට වචන කරන්නම්. කැබිතිගොල්ලෑව ඩිපෝවේ 63-2548 බස් එක රාත්‍රි 8ට කැබිතිගොල්ලෑවෙන් සෙනඟ පටෝගෙන කෙළින්ම එන්නේ තල්ගස්වැවට. තල්ගස්වැවේ තමයි නයිට් පාක් එක. ආපහු පාරක් උදේ 6.30ට තල්ගස්වැවෙන් බස් එකට සෙනඟ පටෝගන්නවා. 2006.06.15 දාත් එහෙමයි. එදා උදේම නැඟිටලා ඉලංගෙ අයියා විමලෙ අයියාට කියනවා අද තිරප්පන්මඩුවේ සිවිල් ආරක්ෂක භටයෙක් මරා දාලා. ඒ මරාදාපු අයගේ ලොකු නෑ සනුහරයක් යකාවැව ගමේ ඉන්නවා. ඒ ගොල්ලොත් මළගෙදර යාවි කියලා. ඒ අවුඅස්සේ විමලෙ අයියට මතක් වෙනවා පුංචි අය කිහිල්ලේ ගහගත්තු අම්මලා. අද නේද කැබිතිගොල්ලෑව එම්.ඕ.එච් එකට යන්නෙ කියලා. දැන් ඉලංගෙ අයියයි විමලෙ අයියයි දන්නවා උදේ ටර්න් එක කට කපල සෙනඟ කියලා. ඒ දෙන්නා උදේම ලෑස්ති වෙනවා. සාමාන්‍යයෙන් සෙනඟ ඉන්න හැම දවසකම එහෙමයි. මේක රාජකාරිය විතරක් නෙවෙයි, නෑදෑකමට කරන රස්සාවක්. පරක්කු වුණොත් පරක්කු වෙන්නේ අපේ උන්ට. ඒක තමයි ඉලංගෙ අයියා විමලෙ අයියට හැමදාම කියන්නේ. ඉලංගෙ අයියා දෙයියෝ බුදුන් සිහිකරලා සුක්කානම අතට ගන්නවා. බස් එක තල්ගස්වැවෙන් උදේ 7ට එන්න පටන් ගන්නවා.

යකාවැවට එද්දී 7.20 විතර වෙන්න ඇති. යකාවැවේදී සෙනඟ ගොඩක් බස් එකට නැග්ගා. අපි හිතුව හරි. ක්ලිනික් එකට ළමයි අරන් යන අම්මලයි, තිරප්පන්මඩුවෙ මළගෙදර යන අයයි නැග්ගම බස් එක පිරෙන්න සෙනඟ. මම ටිකට් කඩ කඩා හිටියේ. ඉස්සරහින් පටන් අරගෙන පිටිපස්සට ඇවිදින් යකාවැවේදී කට්ටිය ගොඩක් බස් එකට නැග්ග හින්දා ආපහු පාරක් ඉස්සරහ ඉඳලා පිටිපස්සට ටිකට් කඩාගෙන ආවා. මිනිස්සු එක එක කල්පනාවල හිටියේ. යුද්දෙ දරුණුම කාලේ හින්දා හැමෝම යුද්දෙ ගැන ආඩපාලි කිය කියා හිටියේ. බස් එක කෝංගොල්ලෑව හරියට එද්දී එක පාරටම ලොකු පිපිරුම් සද්දයක් ඇහුණා. බයිසිකල් බෝල ලක්ෂ ගාණක් විහිදෙනවා විතරයි මම දැක්කේ. බස් එක බෝම්බ ප්‍රහාරයට ලක්වුණාට පස්සේ පාර දිගේ ඉබාගාතේ යන්න ගත්තා. මට තේරුණා ලොකු විනාශයක් වෙලා කියලා. බස් එක ඇතුළේ මිනිස්සු වැටිලා ඉන්නවා. බොහොම හැල්මෙ ගිය බස් එක කෝංගොල්ලෑව බෝක්කු කටේ වැදිලා අනිත් පැත්තට පෙරළුණා. මම පෙරළිච්ච බස් එකෙන් එළියට ඇවිල්ලා බලද්දී මිනිස්සු ඉඳගත්තු සීට්වලම වැටිලා මැරිලා. තුවාල වෙච්චි මිනිස්සු විලාප තියනවා. පොඩි දරුවෝ අඬනවා. මම ඉස්සරහට දිව්වා. එහෙම දුවල යද්දී විහාරහල්මිල්ලෑවේ පොඩි හාමුදුරුවෝ අපේ බස්එක පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. මම උන්නාන්සේ එක්ක කැබිතිගොල්ලෑවට ගියා. කැබිතිගොල්ලෑවේ වාහන පාක් එකේ කට්ටිය එකතු කරගෙන බෝම්බ පිපිරිච්ච තැනට ආවා. ඒ ටික කරන්න මට විනාඩි 10කට වැඩිය ගියේ නෑ. අපි ඇවිල්ලා ආපහු බලද්දි තමයි විනාසෙ තරම තේරුණේ. හැම තැනම මළමිනී. අතපය, කකුල්. පෙළක් මිනිස්සු හිටිය විධියට ඉන්නවා. ඒත් මැරිලා. ඒ අතරේ මගේ ඥාතීන් ගොඩකුත් හිටියා. ඊටත් වඩා හැමෝම දන්න කියන අය. උදේ පාන්දර හිනාවෙලා මාත් එක්ක බස් එකට නැග්ග අය. ජීවතුන් අතර ඉන්න අය කෑකොස්සන් ගහද්දී අපට තේරුණා ඒ අයටත් හරිහමන් සිහි කල්පනාවක් නෑ කියලා. ඊට පස්සේ ඒ අය කැබිතිගොල්ලෑව ඉස්පිරිතාලෙට ගෙනාවා. එතැනින් අනුරාධපුරේට. මගෙ අත කැඩිලයි තිබ්බේ. අතේ ඇතුළු පැත්තට වෙන්න ලොකු තුවාලයක්. ඔළුවෙනුත් ලේ ගලනවා. ඒ පාර මාවත් අනුරාධපුර ඉස්පිරිතාලෙට අරන් ගියා. පස්සේ තමයි මට ආරංචි වුණේ 70 දෙනෙක් එතැනමයි කියලා. 69කට තුවාලයි කියලා. මම කෝංගොල්ලෑවේදී බස් රථය බෝම්බෙට අහුවෙන වෙලාව දක්වා ටිකට් 123ක් කඩලා තිබුණේ. ඒ කියන්නේ පුංචි ළමයි එක්ක බස් එක ඇතුළේ සෙනඟ 150ක් විතර ඉන්න ඇති. අනුරාධපුර ඉස්පිරිතාලේ මම වැඩි දවසක් හිටියේ නෑ. ටිකට් කපාගෙන කැබිතිගොල්ලෑවට ආවා. කැබිතිගොල්ලෑව ඉස්කෝලේ තමයි මියගිය අයගේ දේහයන් තැන්පත් කරලා තිබුණේ. ඉස්සෙල්ලා කිව්ව වගේ එදා උදේ හිනාවෙච්ච මූණු හැම එකක්ම ඒ විධියටම මැලවෙලා ගිහිල්ලා. ඒකයි මට මේක දරාගන්න අමාරු. මිනිස්සු උපදිනවා මැරෙනවා. ඒත් මෙහෙම නිරපරාදේ මිනිස්සු මැරෙන්න වුවමනා නෑ. ඒත් අපි සැලුණේ නෑ. ගම අතහැරලා දාලා මිනිස්සු කැබිතිගොල්ලෑවට ආව හින්දා බස් එක, එක සතියයි යකාවැවට දුවන්නැතිව තිබ්බේ. ඊට පස්සේ අපි සුපුරුදු විධියටම බස් එක දුවන්න ගත්තා. මේ අවුරුද්දට අවුරුදු 13ක්. මම තමයි ඒ පාරෙ දුවන බස් එකේ, ඒ කියන්නේ යකාවැව – කැබිතිගොල්ලෑව බස් එකේ කොන්‍ෙදාස්තරවරයා විධියට අදටත් සේවය කරන්නේ. ඒත් කෝංගොල්ලෑව හරියෙදී මට තාමත් ඇහෙනවා මිනිස්සු විලාප තියන සද්දේ. පුංචි ළමයි අඬන සද්දේ. ඒ හරියෙන් යද්දී මට හැමදේම මැවිලා පේනවා. මම ඒ හැම මොහොතකම මැරි මැරී උපදිනවා.

ඉලංගෙ අයියා මැරුණට පස්සේ තවත් රියැදුරු මහත්වරු ගොඩක් එක්ක මං වැඩකළා. ඒත් මට තල්ගස්වැවෙන් බස් එක පටන් ගද්දිම හැමදාමත් ඉලංගෙ අයියව මතක් වෙනවා. එයාගෙ ගම කිරිමැටියාව. මම මාසෙකට වතාවක්වත් ඒ ගමට ගිහිල්ලා ඉලංගෙ අයියා වළලපු කනත්තට ගොඩ වැදෙනවා. මගේ ජීවිතේ මට හිටිය හොඳම මිත්‍රයා. ඉලංගෙ අයියා කවදාකවත් මනුස්සයෙක්ව පාරේ දාල ගිය අයෙක් නෙවෙයි. මම කෑ ගහනවා සෙනඟ පටෝගන්න ඉඩ මදි කියලා. ඒත් එයා හිනාවෙලා කියනවා අපේ එවුන් වුණාම කොහොමද මඟ දාල යන්නෙ කියලා. ඔය මැරිච්ච අය අතරේ එක හාමුදුරුනමක් ඉන්නවා. උන්වහන්සේට අපි කිව්වේ අපරැක්කෙ හාමුදුරුවෝ කියාලා. ඒ හාමුදුරුවො ඉගැන්නුවේ හල්මිල්ලවැටිය ඉස්කෝලෙ. මම එදා හාමුදුරුවන්ගෙන් ඇහුවා ඇයි හාමුදුරුවනේ අද ඉස්කෝලේ ගාවින් බහින්නෙ නැද්ද කියලා. උන්වහන්සේ කීවා පොඩි වුවමනාවකට කැබිතිගොල්ලෑවට යනවා අනිත් පාර බස් එක යකාවැවට එද්දී ආපහු පාරක් එනවා කියලා. එහෙම කිව්ව උන්නාන්සෙත් බෝම්බෙට අහුවුණා. මට ගොඩක් ඉවසගන්න බැරි පුංචි අතදරුවෝ මගේ ඇස් පනාපිට මැරිලා ඉන්නවා දැක්කට පස්සේ. පුංචි දරුවෝම 16ක්. එදා ක්ලිනික් එක තිබ්බේ නැත්නම් පුංචි දරුවෝ අරගෙන එයාලෙගේ අම්මලා තාත්තලා කැබිතිගොල්ලෑවට යන්නෙ නැහැ. ඔන්න ඔය වගේ දේවල් මතක් වෙද්දී මේ රස්සාව කරගෙන යන්නත් අමාරුයි. ඒත් අතඇරලා දාන්නත් බැහැ. මොකද මිනිස්සු අද වෙද්දී තමන්ගේ අතීතය අමතක කරල වගේ ජීවත් වුණාට මට එහෙම කරන්න බැරි හින්දා. විමලදාසගේ රංජිත් කුමාර විමලදාස එහෙම කියනවා. එහෙම කියන අතරතුර එයා කොච්චරක් හිතින් විඳවනවාද කියන එක මට තේරුම් ගන්න පුළුවන්…..

ප්‍රභාත් අත්තනායක / www.mawbima.lk

LEAVE A REPLY