දැනට සියවස් කිහිපයක සිට විවිධ කරුණු මුල් කොට විශේෂ ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශ ගණනාවක් අප රටේ තිබේ. ඒ අතුරින් පිටිසරකම හා බැඳුණු නොදියුණු බව නූගත්කම සහ ආශ්‍රිත අනුවණකම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රසිද්ධියක් ඉසිලූ ගම්වර දෙකක්ම තිබේ. එනම් තුම්පනේ සහ දොම්පේය. මේ ගම් අතරින් තුම්පනේ නියෝජනය කරමින් ඉස්මතුව තිබූ ‘‘තුම්පනේ බණ්ඩා’’ගේ චරිතය අද වන විට මුළුමනින්ම පාහේ අභාවයට ගොසිනි. එහෙත් ඒ සමගම එක්ව සමාජ කරළියේ ඉස්මතුව තිබූ ‘‘දොම්පෙ ආයා’’ අදටත් ජනතා මනස් තුළ යහතින් වැජඹෙයි.

තුම්පනේ බණ්ඩා ආ ගිය අතක් නොමැති වූ පසුබිමක දොම්පේ ආයා අදටත් සමාජය හමුවේ මෙලෙස ඉස්මතුව පෙනෙන්නේ දශක ගණනාවක් පුරා ගැයෙන බයිලාවක පිහිටෙනි. නමුදු දොම්පෙ ආයා බයිලාව කිසියම් ගීත රචකයකුගේ සිත තුළින් පැන නැගුණු මනඃකල්පිතයක් නොවේ. එය මීට වසර එකසිය පනහක පමණ සිට අප ජන සමාජයෙන් ඉස්මතු වූ සත්‍ය චරිතයකි. එමෙන්ම දොම්පේ මුල් කොට එවන් චරිතයක් ඉස්මතු වීමේ ඉතා පැහැදිලි සමාජමය පසුබිමක් ද තිබේ. නමුදු අද බොහෝ දෙනෙක් ඒ පිළිබඳව නොදනිති. නොසිතති.

දොම්පේ යනු වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයට අයත් ප්‍රදේශයකි. 1978 වසරේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොටසක් ගම්පහ වශයෙන් බෙදා වෙන් කිරීමට පෙර දොම්පේ අයත් වූයේද කොළඹ දිස්ත්‍රික්කයටමය. කොළඹ සිට දොම්පෙට ඇති දුර ප්‍රමාණයද කිලෝමීටර් තිහකට වැඩි නොවේ.

එහෙත් අතීතයේ සිටම දොම්පේ ප්‍රදේශය සෙසු සමාජයෙන් තරමක් වෙන්ව පැවැති බව පෙනේ. දොම්පේ සම්බන්ධයෙන් එවක ප්‍රචලිතව තිබූ ජනකතාද ඊට හේතුවන්නට ඇත. අතීතයේ ඇතැමුන් මෙම දොම්පේ ප්‍රදේශය හඳුන්වන ලද්දේ ‘‘යකාගේ දොම්පෙ’’ යන නමිනි.

සිරිසඟබෝ රජතුමාගේ කාලයේ අනුරාධපුරයට එල්ල වූ රතුවන් ඇස් ඇති තේජසින් රතැසි යකාගේ බලපෑම රජතුමා තම ශීල තේජසින් මර්දනය කළ බවත් රජුගේ එම තේජසට බිය වූ යක්ෂයා අනුරාධපුරයෙන් පළා අවුත් සැඟව ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ බවත් පැවසෙන ජනකතාවක් තිබේ. තමන් තුළ පවතින දුක, වේදනාව, සහ පාළුව මුල් කොට එම යක්ෂයා දොම්නසින් විලාප නැගීම මුල් කොට එම ගම්වරය දොම්පේ යනුවෙන් නම් ලද බව කියනු ලැබේ. එම විලාපය අසා සිටිය නොහැකි පිරිස් එම ගමින් පිට වූ අතර පසුව එම කොටස පාළුවට ගිය බවද එම ජන කතාවෙන් පැවසෙන අතර අද ද දොම්පේ ආශ්‍රිතව පාළුගම නම් ගම් වරයක් තිබේ. එමෙන්ම එහි නමින් යක් ඔළුවාගල නමින් අදටත් හඳුන්වන පර්වතයක් ද ඇත. එම යක්ෂයා නිදා ගැනීමේදී කොට්ටයක් සේ භාවිත කොට ඇත්තේ එම පර්වතය බවට ජනකතා පවතී.

මෙවන් පසුබිමක් යටතේ දොම්පේ සහ බාහිර ප්‍රදේශවල ජනතාව අතර පැවැති සහසම්බන්ධතා මුළුමනින්ම පාහේ අඩාළ වූ අතර දහසය වන සියවසේ දොම්පේ ප්‍ර‍දේශයේ මල්වාන මුල් කොට දොන් ජෙරනිමෝද අසවේදු නම් පෘතුගීසී සෙන්පතියා එල්ල කළ ප්‍රහාර නිසා දොම්පේ ප්‍රදේශයේ ජනතාව මහත් විපත්වලට මුහුණ දුන් බව පැවසෙයි. දොම්පේ ආසන්නයේ පිහිටි තවත් ගම්වරයක් අද ද බියගම වශයෙන් හැඳින්වෙනුයේ එදා අසවේදු විසින් එම ප්‍රදේශ මුල් කොට සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියා නිසා යැයි ද කියනු ලැබේ. අසවේදුගේ නම ලක් ඉතිහාසයේ සඳහන් වනුයේ යටත් විජිත සමයේ මෙහි සිටි කුරිරුතම ත්‍රස්තවාදියා ලෙසිනි.

මෙවන් පසුබිමක් යටතේ පසුකාලීන ඕලන්ද, ඉංග්‍රීසි ආදී යටත් විජිත යුගයන් හිදී වී, පොල්, බුලත් සහ මිශ්‍ර බෝග මුල් කොට ගත් සරල කෘෂිකාර්මික දිවි පෙවෙතකට හිමිකම් කී සීමිත ජනතාවක් මෙහි විසූ අතර ඔවුන් ඒ සඳහා ජලය ලබා ගෙන ඇත්තේ අද්දරින් ගලා යන කැලණි නදිය හා සම්බන්ධ ඇළ මාර්ගයකිනි. දොම්පේ සම්බන්ධයෙන් පැවසෙන ජන ප්‍රවාදවල දොම්පේ ‘‘ඇළ කට’’ යන වදන සඳහන්ව ඇත්තේ එනිසාමය.

කොළඹ නගර මධ්‍යයේ ඕලන්ද ජාතිකයන් විසින් පවත්වාගෙන ගිය අක්කර දෙසිය අසූනවයක කුරුඳු උද්‍යානය (Cinnamon Gardens) හෙවත් කුරුඳුවත්ත මුල් කොට ස්ථාපිත වූ නාගරික ධනපති නේවාසික කලාපය හඳුන්වා දෙන ලද්දේ ඉන්පසු පහත රට බලය අල්ලා ගත් ඉංග්‍රීසි ජාතිකයන් විසිනි. ඒ 1789 වසරේදීය. ඉන්පසු එහි මුලින් ඉංග්‍රීසි ජාතිකයන්ද පසුව ඔවුන්ගෙන් සුවිශේෂී වරප්‍රසාද ලත් සිංහල සහ දමිළ ධනකුවේරයන් ද එම කුරුඳුවත්තේ සුවිසල් මැදුරු තනා ඒවායේ පදිංචි වූහ. එහි දී ඔවුනට මුහුණ දීමට සිදුවූ ආයා, නැනී, බෝයි. අප්පු ආදී වශයෙන් හැඳින්වුණු ගෘහ සේවක සේවිකා ප්‍රශ්නයේ දී හොඳම ආයා ගේ භූමිකාව හිමි කර ගෙන ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ තරුණියන් සහ කාන්තාවන් බව පෙනේ.

නාගරිකත්වයෙන් නොකෙලෙසීම, අවංක බව, සුවච කීකරු බව සහ කාර්යශූරත්වය ආදී එම කාන්තාවන් තුළ වූ සුවිශේෂී ගුණාංග එවක අගනුවර ධනකුවේරයන්ගේ සිත් ඇද ගැනීමට හේතු වූ බව පෙනෙයි.එනිසාම අගනුවර ධනකුවේරයන්ගේ නිවෙස්වලට ආයාවරුන් සොයා දීම සම්බන්ධයෙන් තැරැව්කාර වෘත්තියක්ද එවක බිහිව තිබූ බවත් අගනුවර සිට නිසි මාර්ග පහසුකම් නොතිබීම මත දොම්පෙට යන පාර අසා ගැනීමට ඔවුන්ට සිදු වූ බවත් අතිශයින් පැහැදිලිය. එමෙන්ම අගනුවර ධනකුවේරයන්ගේ නිවෙස්වලට දොම්පේ ආයාවරුන් එක් කර ගැනීම එවක වුවද සමාජ විලාසිතාවක් වී ඇති බවත් රූමත් අහිසංක තරුණියන් වූ දොම්පෙ ආයලව මුල් කොට එවක අගනුවර ප්‍රභූ සමාජයේ පවුල් තුළ නොයෙකුත් ගැටලු අර්බුද ඇති වූ බවත් සාධාරණ ලෙස අනුමාන කළ හැක.

1977ට පසුව මෙරට ඇරඹි නිදහස් වෙළෙඳ කලාපවල සේවය කළ තරුණියන් මුල් කොට පැතිර ගිය පදනම් විරහිත කටකතා බඳු කටකතා සමුදායක් දොම්පේ ආයලා මුල් කොට 1940 දශකයේ දී පමණ මෙරට පුරා පැතිර ගිය බව පෙනේ. මෙය ඕපාදූප කෙරෙහි ඉව අල්ලන සමාජයට කෙතරම් රසවත් කට ගැස්මක් වීද යත් එම දශකය තුළ නිපදවුණු ‘‘දොම්පේ ආයා’’ නම් වන වේදිකා නාට්‍යය ශංගාර සහ විකට රසයෙන් අනුන විය. මීට දශක කිහිපයක් දක්වා මෙරට නාට්‍ය වේදිකාවෙත් සිනමාවෙත් හාස්‍ය රසය නිපදවීමේ පුරෝගාමියකු වූ ජෝසප් සෙනෙවිරත්නයන් සේම විනෝද සමය ගුවන් විදුලි හාස්‍ය නාටක මාලාවෙන් රටක් වසඟකළ විකට රජකු වන දැනට වයෝවෘද්ධව පසුවන බර්ටි ගුණතිලකයන් ද එක්දහස් නවසිය පනහේ දශකයේ මෙම ‘‘දොම්පේ ආයා’‘ විකට නාට්‍යයේ රඟපා ඇත. මෙම දොම්පේ ආයා යන තේමාව යටතේ නාට්‍ය කිහිපයක්ම නිපදවුණු බවක් ද කියනු ලැබේ.

එක්දහස් නවසිය පනහ පමණ වන විට මෙහි ඉහත සඳහන් තුම්පනේ බණ්ඩා සහ දොම්පේ ආයා යන චරිත දෙක සමාජ කරළියේ කොතරම් ජනප්‍රියත්වයට පත්ව තිබිණද යත් ශ්‍රී ලංකාවේ මුල්ම චිත්‍රාගාරය වශයෙන් 1951 වසරේ එස්.පී. නායගම් විසින් කඳානේ ඉදි කළ සුන්දර සවුන්ඩ් (පසුව එය එස්.පී.එම්. නමින් හඳුන්වන ලදී.) චිත්‍රාගාරයේ මුලින්ම රූපගත කිරීම පිණිස සැලසුම් කොට තිබුණේ තුම්පනේ බණ්ඩා හෝ දොම්පේ ආයා යන තේමා දෙකෙන් එක් තේමාවක් මුල් කොටගත් චිත්‍රපටයකි. පසුව ඉංග්‍රීසි සහ බටහිර සිරිත් ඉගෙනුම පිණිස අගනුවරට පැමිණෙන බණ්ඩා නම් උඩරට රදළ තරුණයකු මුල් කොටගත් චිත්‍රපටයක් සඳහා තුම්පනේ බණ්ඩා සහ කොළඹ අප්පුහාමි යනුවෙන් තිර පිටපතක් සැපයූ ජෝසප් සෙනෙවිරත්න විසින් එය එස්.එම්. නාගයම් වෙත භාර දෙන ලදී.

එහෙත් අප රටේ චිත්‍රාගාරයක රූපගත කෙරුණු මුල්ම චිත්‍රපටය වශයෙන් එය 1952 වසරේ මැයි 04 දින තිරගත කරන ලද්දේ බණ්ඩා නගරයට පැමිණීම යනුවෙනි.

එසේ වුවද ඒ වන විට පැවැති මෙම දොම්පේ ආයා නම් සජීවී චරිතය මුල් කොට ගත් සමාජමය උනන්දුව හතළිහේ දශකය තුළ අප සමාජය පුරා පැතිර තිබිණි.

අප රටේ තැටියකට නැංවුණු මුල්ම විරිදු ගායනයද ඉහත කී සංසිද්ධිය මුල් කොට ගත් එකකි.

කොළඹ යුගයේ විශිෂ්ටතම කවියකු නීතිවේදියකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ රාජනීතිඥ යූ.ඒ.එස්. පෙරේරා (සිරි අයියා) විසින් රචනා කොට ගායනා කරනු ලැබූ පිටිසරබද ආදී කාලයේ යනුවෙන් අරඹෙන එම විරිඳු පන්තිය එවක බිහි වූ උපහාස රසයෙන් අනූන පෙරළිකාර ප්‍රබන්ධයක් විය. දොම්පෙට යන පාර කොයිබදෝ යනුවෙන් මග තොට විමසන පිටස්තර තරුණයකු සහ ශ්‍රවණාබාධිත ගැමියකු, ගැමි බිරිඳක සහ ගැමි දියණියක මුල් කොට ලියවුණු එහි එම දියණිය රූපශ්‍රීය හුවා දක්වා ඇත්තේ මෙලෙසිනි.

‘‘චීත්තයක් සමග මල් රැඳි
බඳට කැපෙන හැට්ටයක් ඇඳි
කරේ බැන්ද පබළු ඇට පොටයි
අතේ බම්බු වළලු දෙක නටයි
දුටුව තරුණයන්ගේ ඇස් පිනයි
මුතු කුමාරි වාගෙ ලස්සනයි’’

නමුදු දොම්පෙට අයත් අතීත සියනෑ කෝරලයේ ගැමි තරුණියන්ගේ ඇඳුම් විලාසය පිළිබඳව මින් පැවසෙන වර්ණය දොම්පේ ආයලා සම්බන්ධයෙන් ද බොහෝ දුරට ආදේශ කරගත හැක.

එදා මෙදා තුර ශ්‍රී ලාංකීය බයිලා ගායනා අතර ඉහළම තැනක් හිමි කර ගත් ‘‘දොම්පේ ආයා’’ බයිලා ගායනය දකිනුයේ ද මෙම යුගයේය. ඇතැමුන් පවසන පරිදි දොම්පේ ආයා රචනය සහ ගායනය 1940 දශකයේ ශ්‍රී ලංකාවට බයිලා ගායනා හඳුන්වා දුන් වොලී බැස්ටියන්ගේය. නමුදු මෙය ඔහුගේ සමකාලීන වෙනත් ගායකයකු විසින් රචනා කොට ගායනා කරන ලද්දක් බවද ඇතැමුන්ගේ අදහසය. එමෙන්ම ‘‘දොම්පේ ආයා’’ මුල්ම ගීත රචනය කාගේද එහි මුල් ස්වරූපය කුමක්දැයි සොයා ගත නොහැකි තරමට එහි පද රචනා කාලයෙන් කාලයට වෙනස් වී තිබේ.

දැනට හමුවන එහි පැරණි ගී රචනයක සඳහන් වනුයේ නුවර, හැටන්, තලවාකැලේ, මාතර, ත්‍රිකුණාමලේ, නුවරඑළිය, බදුල්ල, කතරගම, තංගල්ල, මාතර, කොළඹ, රුවන්වැල්ල ආදී ප්‍රදේශවල පුරා ඇවිද ගිය මුත් තමන්ට ගැළපෙන ආයා හමුවූයේ දොම්පෙන් බවය. එමෙන්ම විවිධ කාන්තා නම් කිහිපයක් සඳහන් කරන එම රචනයේ දුකට සැපට ඔබින ආයා ඔවුන් නෙවෙයි දොම්පේ ආයා යනුවෙන්ද සඳහන්ව තිබේ.

දොම්පේ ආයා ගීතය මුල් යුගයේ පිරිමියකු විසින් ගායනා කොට ඇති අතර 1960 දශකයේ චීත්තයකින් සහ හැට්ටයකින් සැරසුණු සුරූපී යුවතියක්ද සංගීත ප්‍රසංගවලදී එම ගීතය ගායනා කරමින් රසික ආකර්ශනයට ලක්වූවාය. ඒ යුවතිය පසුගියදා අප අතරින් සදහටම වෙන්වූ හෙළ සිනමා ගී කෙවිලිය වූ ඇන්ජලීන් ගුණතිලකය.

‘‘මම තමයි ඇන්ජිව දොම්පෙ ආයා සින්දුවත් එක්ක ප්‍රසංග වේදිකාවට ගෙනාවේ’’ දැනට අප අතරේ හිඳින ජ්‍යෙෂ්ඨම ගීත රචකයකු පත්‍ර කලාවේදියකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන විමලදාස පෙරේරා සූරීන් එසේ කියති.

පනහේ දශකයේ ඉහළම ජනප්‍රියත්වයක් දිනා ගෙන තිබුණු දොම්පෙ ආයා ගීතය හැටේ දශකයේ මුල හරිය වෙන කොට ටිකක් විතර පහු බැහැල තිබුණා. ඔය කාලේ මම රුක්මණී දේවිගේ ගීත ඇතුළත් ගීතාංජලී කියලා ගුවන් විදුලි වැඩසටහනක් නිෂ්පාදනය කළා. පස්සේ බොහෝ දෙනකුගේ ඉල්ලීම මත ඒක සංගීත ප්‍රසංගයක් හැටියට රට පුරා ව්‍යාප්ත කරන්නත් මට පුළුවන් වුණා. ඒ ප්‍රසංගයට රුක්මණීට අමතරව ජෝති, මිල්ටන්, ෆ්‍රෙඩී තව හෙන්රි පෙරේරා වගේ එවක තරුණ ජනප්‍රිය ගායකයොත් එක් වුණා. ඔය ප්‍රසංගයේදී තමයි මම ඇන්ජිව දොම්පෙ කෙනෙක් වගේ රෙද්ද හැට්ටෙ ඇඳලා ඔය සින්දුව කියන්න යොමු කළේ. එයා ඒක කියන කොට ජෝතිලා, මිල්ටන්ලා, ෆ්‍රෙඩීලා එකට අත්වැල් ඇල්ලුවේ සරම් කමිස ඇඳලා.

මම එහෙම දෙයක් කළේ ඒ සංදර්ශනයේ ප්‍රාසාංගික බව වැඩි කරන්නයි. ඒ වගේම ඒක හිතුවටත් වඩා සාර්ථක වුණා.’’ ඔහු පවසන අන්දමට ඇන්ජලීන් පමණක් නොව ශ්‍රී ලංකාවේ ජනප්‍රියම චිත්‍රපට පසුබිම් ගායක එච්.ආර්. ජෝතිපාලයන්ද එම ගීතය ගායනා කිරීමට එක්ව තිබේ.

ඊට පසුකාලීනව මෙම දොම්පේ ආයා ගීතය නැවත සමාජ කරළියට පිවිසෙනුයේ ජනප්‍රිය බයිලා ගායක ඩෙස්මන් ද සිල්වාගේ හඬිනි. ඉන්පසුව වෝල්ටර් ප්‍රනාන්දු සංගීත ප්‍රසංග වේදිකාවේ දී මෙම දොම්පේ ආයා බයිලා ගායනය මහත් අභිරුචියකින් ගයති. එමෙන්ම ප්‍රසංග වේදිකාවේ කණ්ඩායම් සංගීතකරුවන්ගේ හොඳම කට ගැස්මක් බවට පත්ව ඇති මෙහි ගීත රචනය ඔවුන් වෙතින් අවභාවිතාවට ලක් වීමද සුලබ දෙයක් වී තිබේ. එක් අතකින් බලන විට මෙය මීට දශක කිහිපයකට ඉහත මෙරට ජීවත්වූ දොම්පේ ආයා නම් වන සජීවී චරිතය වර්තමාන සමාජය විසින් එළිපිට ප්‍රසිද්ධියේ දූෂණය කිරීමකි.

‘‘පිස්සු කරල මගේ මොළේ
මාවත් දාගත්තා දැලේ
වයිෆ් ගෝරි කළත් මොකද
මගේ මැණික තමයි ඔයා
දෙන්නා එක්ක පැනල යමුද
මට නම් දැන් පිස්සු මෙයා

මේ එම ගීත රචනය අවිචාරවත් වදන් එක් කිරීමෙන් ගීත සාහිත්‍යය තුළ දොම්පේ ආයා ප්‍රසිද්ධියේ දූෂණය වූ අවස්ථා රාශියකින් එකක් පමණි.

තිලක් සේනාසිංහ

LEAVE A REPLY