දින ගණනාවක් තිස්සේ ආහාරක් නොමැතිව කුසගින්නේ සිටිමින් දුම්රියට පැනදිවි නසාගැනීමට සූදානම් වූ මවක් හා දියණියක් පිළිබඳ පුවතක් ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙසේ දිවි නසාගැනීමට උත්සහ දරා ඇත්තේ ගල්ගමුව පොලිස් වසමට අයත් මහගල්ගමුව ප්‍රදේශයේ 38 හැවිරිදි එක්දරු මවක සහ දස හැවිරිදි එකම දියණියයි.

කෙසේ වෙතත් ගල්ගමුව ප්‍රජා පොලීසිය විසින් මෙම මව සහ දියණිය බේරා ගැනීමට කටයුතු කර තිබේ.ගල්ගමුව වෙල්රොදවත්ත කැලෑ බද ප්‍රදේශයක දුම්රිය මාර්ගය ආසන්නයේ කාන්තාවක හා කුඩා දැරියක අඬමින් සිටින බවට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු විසින් පොලීසියට දැනුම් දී තිබේ. ගල්ගමුව ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකුට ලැබුණු එම දුරකතන ඇමැතුමත් සමගම පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයට පිටත්ව ගොස් ඇත.

තමා එම ස්ථානයට යන විටත් මෙම කාන්තාව හා ඇගේ දියණිය දුම්රිය මාර්ගයේ අඬමින් සිටි බව පොලිස් කොස්තාපල්වරයා මාධ්‍යයට පවසනවා. ඔවුන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගත් සැණින් කොළඹ කොටුවේ සිට වවුනියාව දක්වා ධාවනය වූ දුම්රිය එම ස්ථානය පසු කර ගිය බවද පොලිස් නිළධාරියා පවසනවා.ඔහු විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා ජීවිත දෙකක් ගලවාගත හැකි වූ බව දුම්රිය සේවකයෝ පවසති.

මෙම මව සහ දියණිය පොලීසියට රැගෙන ගොස් කරුණු විමසීමේ දී වඩු කාර්මිකයකු වන සැමියා දිනපතා අධික ලෙසබීමත්ව පැමිණ තමන්ට සහ දියණියට හිරිහැර සිදු කරන බවත් දරුපවුලට කෑමට බීමට අවශ්‍ය කළමනා ගැනීමට අවශ්‍ය වියදම් පවා ලබා නොදීමෙන් තමාත් දියණියත් නිතරම බඩගින්නේ සිටි බව කියා තිබේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ අදාල කාන්තාව

“මීට දින ගණනාවකට පෙර බීමත්වපැමිණි සැමියා කුඩා දියණියටද බලහත්කාරයෙන් කසිප්පුපෙවීමට උත්සාහ ගත්තා. මා ඊට විරෝධයපළකිරීමෙන් පසුව සැමියා මා සහ මගේ දරුවා දමා  නිවෙසින් පිටව ගියා. ඔහු නැවත ආවේ නෑ. සැමියා එසේ අතහැර ගියාට පස්සේ අපට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. කිසිම ආදායමක් නෑ. මගේ දියණිය සහ වයෝවෘද්ධ ආබාධිත පියා ජීවත් කරවීම සඳහා කඩයප්පන් සකස් කළා. එය සාර්ථක වුණේ නෑ.  පස්සේ බඩ ගින්න ඉවසා ගන්න බැරිම තැන පාරේ යන එන අයට අත පා ජීවත් වීමට උත්සාහ ගත්තද අපට උදව් කරන්න කෙනෙක් හිටියේ නෑ.  කන්න බොන්න දෙයක් නැතිව ජීවත්වන්න අසීරු නිසා අන්තිමේ දී දියණිය සමග දුම්රියට පැනදිවිනසාගැනීමට තීරණය කළා” යනුවෙන් ප්‍රකාශ කළා.

LEAVE A REPLY