රුපියල් මිලියන ගණනක් වැයකර ඉදිකරන ලද මීගහකිවුල නව දෙමහල් බස්නැවතුම්පළ වසර පහකට අධික කාලයක් තිස්සේ කැළෑවට යටවෙමින් පවතින බව ජනතාව පවසති.

මෙලෙස බස්නැවතුම්පළ කැළෑවට යටවෙමින් තිබියදී මීගහකිවුල නගරය හරහා ගමන් ගන්නා බස්රථවලට ගොඩවීමට පැමිණෙන ජනතාවට නගරයේ පදික වේදිකා හා වෙළෙඳසල් ඉදිරිපසට වී අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් බලා සිටීමට සිදුව ඇතැයි ද ජනතාව පවසති.

මේ තත්ත්වය මත නගරයේ ජනතාව, වෙළෙඳසල් හිමියන් මෙන්ම බස් මඟීහුද විවිධ ගැටළු රැසකට මුහුණ දී සිටිති. ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක‍්‍රියාත්මක පුර නැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 47 ක් වැයකර මීගහකිවුල නගරය සඳහා මහල් දෙකකින් යුතු බස් නැවැතුම්පළක් ඉදිකර තිබුණද එයින් කිසිදු ප‍්‍රයෝජනයක් නොගැනීම මෙම ගැටලූවට මූලික හේතුව බව ජනතාව පවසති.

බස් නැවැතුම්පළ ඉදිකර මේ වනවිට වසර පහකට ආසන්න කාලයක් ගතව ඇතත් තවමත් එයට එක් බසයක් හෝ ඇතුළත් කර නැතැයිද ජනතාව පවසති.දෛනිකව මීගහකිවුල නගරය කරා බස්රථ සිය ගණනක් පැමිණෙන අතර එම බස් බොහොමයක් නතර කරනු ලබන්නේ නගර මැද පිහිටි කුඩා බස් නැවැතුම්පළේ හා මාර්ග දෙපසය.ඇතැම් බස් රථ මගීන් එහා මෙහා ගමන් ගන්නා කහ ඉරිමත පවා නතර කර මගීන් නංවාගන්නා බවට නගරවාසීහු චෝදනා කරති.

මේ හේතුවෙන් නගරයේ වෙළෙඳසල් හිමියන්, පදිකයන් මෙන්ම පාසල් දරුවෝද විවිධ අනතුරුවලට දිනපතා මුහුණපාන බව ඔවුන් පවසති. එසේම වෙළෙඳසැල්වල කටයුතුවලටද මෙය විශාල බාධාවක් වී ඇත.
මේ සම්බන්ධයෙන් අප මීගහකිවුල ප‍්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ලලිත් ජයවර්ධන මහතාගෙන්ද විමසූ විට ඔහු පැවසූයේ, ‘‘මීගහකිවුල නගර සැලසුම තවමත් ක‍්‍රියාත්මක නැහැ. මීගහකිවුල නගර සැලසුම ක‍්‍රියාත්මක කර නගරය විධිමත් කිරීමත්, මේ බස් නැවැතුම ඉක්මනින්ම ප‍්‍රයෝජනයට ගැනීමත් මගේ බලාපොරොත්තුවක්. මෙම බස් නැවැතුම ඉදිකළත් හරියට ප‍්‍රවේශ මාර්ග පද්ධතිය ඉදිකර නැහැ. ඒ සම්බන්ධයෙන් ගැටලූ පවතිනවා. එම ගැටලූ ඉක්මනින්ම විසඳාගෙන නව බස් නැවතුම්පළ ප‍්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීමට මම කටයුතු කරනවා.’’