ඉදිරි වසර 5 ක කාලය තුළ ලීමෝල් සහ වඩු මඩු තහනම් කරන බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයට බරපතළ විරෝධතා එල්ල වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය පවසන්නේ තහනමට ලක්වන්නේ සාම්ප‍්‍රදායික වඩුමඩු නොව ජංගම ලී මෝල් පමණක් බවය. ඒ අනුව 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යෑමේ බලපත‍්‍ර අලූත් නොකරන බවද පරිසර අමාත්‍යාංශය පවසයි. මෙහිදී ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය විවේචනය කරන බොහෝ පිරිස් රටේ වන සම්පත මුහුණ දෙමින් සිටින ඛේදවාචකය අමතක කර තිබීම කනගාටුවට කරුණකි. විවේචකයන් මෙහිදී කළ යුත්තේ ජනාධිපතිවරයා එවැනි ප‍්‍රකාශයක් කිරීමේ තැනට හේතු වූ කාරණා පිළිබඳව සොයා බැලීමය.

ශී‍්‍ර ලංකාවේ පවතින බලවත්ම පාරිසරික ගැටලූව වන්නේ වන විනාශයය. 1920 වසර වන විට දිවයින සතුව තිබූ වන වැස්ම 49% ක් වූ අතර 2005 වසර වන විට එය 20% ක් දක්වා පහත වැටුණි. වසර 2005 සිට මේ දක්වා දිවයිනේ වනාන්තරවලින් හෙක්ටයාර 8000 ක් පමණ සෑම වසරකදීම විනාශයට පත්වනු ලබයි. රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් විල්පත්තු රක්‍ෂිතයේ නැවත පදිංචි කිරීම් හේතුවෙන් විනාශ වී තිබෙන්නේ හෙක්ටයාර 3000 ක් පමණි. විල්පත්තු වන විනාශය ගැන කතා කරන පරිසවේදීන් රට පුරා සිදුවන වන විනාශය අමතක කිරීමෙන් සිදුවන්නේ රටේ වන විනාශය පිළිබඳව නිවැරැදි කතිකාවක් සමාජගත නොවීමය. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ රටේ සමස්ත වන ගහනය ශීඝ‍්‍රයෙන් විනාශයට පත්වීමය.

ශී‍්‍ර ලංකාවේ වන සම්පත ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් පාරිසරික ප‍්‍රතිපත්ති හා නීති බොහොමයක් කි‍්‍රයාත්මක වේ. 1885 වසරේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව මගින් ඉදිරිපත් කරන ලද අංක 10 දරණ වන සංරක්‍ෂණ ආඥා පනත මගින් වනාන්තර පමණක් නොව වන සතුන්ගේ විනාශය ද තරමක් දුරට අඩු විය. වර්ෂ 1907 දී හඳුන්වා දුන් අංක 16 වන ආඥා පනත මගින් වනාන්තර, රක්‍ෂිත වනාන්තර සහ ග‍්‍රාමීය වනාන්තරවල දැව කැපීම සීමා කෙරිණි. මෙම පනත්වලින් පසු ශී‍්‍ර ලංකාවේ පළමු බලාධිකාරි වනාන්තර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නිකුත් වන්නේ 1929 වසරේදීය. එතැන් සිට ගෙන එනු ලැබූ සියලූ වනාන්තර අණපනත් මගින් වනාන්තර විනාශය අවම කරගැනීම සඳහා නීති සම්මත වුවද ඒ සියලූ නීති සියල්ල මජර දේශපාලනයේ පැවැත්ම සඳහා යොදා ගැනීම නිසා රටේ ශ්වසන පද්ධතිය වන වන සම්පත මුහුණ දී සිටින්නේ මාරාන්තික ඉරණමකටය.

ශී‍්‍ර ලංකාවේ පමණක් නොව අද පෘථිවි ගෝලයේම වන සම්පත මුහුණ දී සිටින්නේ ඛේදජනක ඉරණමකටය. පිලිපීනයේ වැසි වනාන්තරවලින් 90% ක් පමණ මේ වන විට කපා දමා අවසන්ය. මධ්‍යම ඇමරිකාවේ 1960 න් පසු ඉතිරිව ඇත්තේ වනාන්තරවලින් භාගයක් පමණි. බ‍්‍රසීලයේ මාටා ඇට්ලන්ටිකා වැසි වනාන්තරයෙන් 90% ක් පමණ මේ වන විට විනාශ වී තිබේ. වන විනාශය හේතුවෙන් හයිටි රාජ්‍යය නුදුරේදීම කාන්තාරයක් බවට පත්වන ලකුණු දැනටමත් පහල වී තිිබේ. එම නිසා වනාන්තර රැකගැනීම සම්බන්ධයෙන් ගෝලීය මැදිහත්වීම් මේ වන විටත් සිදුවෙමින් තිබේ. මන්ද වනාන්තර විනාශ වීම හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස මගින් බලපෑම එල්ල වන්නේ සමස්ත පෘථිවි ගෝලයටමය. දකුණු ආසියාවේ වන සම්පත විනාශ වීම ශී‍්‍ර ලංකාවේ දේශගුණයට තර්ජනයක් සේම ශී‍්‍ර ලංකාවේ වන සම්පත විනාශ වීම දකුණු ආසියාවේ දේශගුණික සමතුලිතතාවට තර්ජනයකි. එම නිසා වන සම්පත ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීමට රටක් ලෙස අප පසුබට නොවිය යුතුය.

ශී‍්‍ර ලංකාවේ වර්තමාන වනාන්තර ප‍්‍රතිශතය 29.7% කි. වසර 2022 වන විට මෙම ප‍්‍රතිශතය 32% දක්වා ඉහළ නංවා ගැනීමට රජය සැලසුම් කර තිබේ. මෙම අරමුණ කරා යෑමට නම් හෙක්ටයාර 150,650 ක වන බිම් ප‍්‍රමාණයක් බිහි කළ යුතුය. මෙම ඉලක්කය ජය ගැනීම පහසු නැත. මේ වන විට රටේ බලශක්ති ඉල්ලූමෙන් 40% ක් සපුරා ගනු ලබන්නේ දර මගිනි. දර නිසා රටේ බලශක්තිය සමතුලිත වී තිබුණ ද එමගින් වනාන්තරවලට ඇතිවන බලපෑම සුළුපටු නැත. සාම්ප‍්‍රදායික වඩු කර්මාන්තය තනිකරම නඩත්තු වන්නේ නීති විරෝධී දැව ජාවාරම මතය. ජංගම ලී මෝල් තිබෙන නිසා කැලේදීම ගස් කපා, කැලේම ඇඳන්, පුටු සාදා කැලෙන් එළියට එන විට වෙළෙඳපොළ සොයා ගැනීම දක්වා කර්මාන්තය දියුණු වී තිබේ. නමුත් රටේ වන සම්පත විනාශ කර අප ලබන දියුණුව කුමක්ද?

ශී‍්‍ර ලංකාවේ සාම්ප‍්‍රදායික වඩු කර්මාන්තය ආරක්‍ෂා වන්නේ වනාන්තර රැකුණොත් පමණි. වනාන්තර ආරක්‍ෂා කර ගනිමින් කර්මාන්තය රැකගැනීමට සැලසුම් ඕනෑ තරම් තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන පරිදි දැන් කළ යුත්තේ වඩු කර්මාන්තය කඩිනමින් නවීකරණය කිරීමය. ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන බව අගමැතිවරයා පවසයි. වනාන්තර ආරක්‍ෂා කර ගැනීමේ දැඩි තීන්දු කි‍්‍රයාත්මක කරන ගමන් වඩු කර්මාන්තකරුවන් ද රැකගැනීම ආණ්ඩුවේ වගකීමය.

LEAVE A REPLY