අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සමීප සබඳතා ඇති රූපවාහිනි නාළිකාවට මාසිකව රුපියල් ලක්ෂ 15ක දැන්වීම් ලබාදෙන ලෙස ඔහු විසින් සතොස හා ලක් සතොස ආයතනයට උපදෙස් දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා සඳහන් කරනවා.

එසේම සතොස අලෙවිකරණ අංශයට අනුයුක්ත කර ඇති පුද්ගලයන් 15ක් එහි සේවය නොකරන මුත් ඔවුන්ට වැටුප් ලබා දෙන බවට කරුණු හෙළි වී ඇති බවත් මෙම පුද්ගලයන් 15 දෙනා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ හා ඔහුගේ පවුලේ අය සතු සමාගම්වල සේවය කරන පිරිසක් බවටත් තොරතුරු තමන් වෙත ලැබී ඇතැයිද මන්ත්‍රිවරයා තවදුරටත් පවසනවා.

ඔහු විසින් සතොස ආරක්ෂක අංශයට අනුයුක්ත කළ පුද්ගලයන් 40ක පිරිසක් සඳහා සතොස ආයතනයෙන් මාසිකව රුපියල් ලක්ෂ 22 වැටුප් ගෙවනමුත් එවැනි පිරිසක් සතොස ආයතනයේ සේවය නොකරන බවට කරුණු අනාවරණය වී ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවට හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බවද ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළ මන්ත්‍රිවරයා එම පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම කොමිසමේ වගකීම බවද සඳහන් කළා.

උපතිස්ස පෙරේරා / www.mawbima.lk

LEAVE A REPLY