පොලිස් නිලධාරියකු වීම අභිමානයට කාරණයක් වූ යුගයක් තිබිණ. වර්තමානයේ බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ පොලිස් නිලධාරියා දූෂණයේසංකේතයක් ලෙසය. එහෙත් ගිලීමලෙත් දත සුද්දන් ඇත්තා සේ අවංක, නීතිගරුක පොලිස් නිලධාරීහු අදත් පොලිසියේ සිටිති.

මේ සතියේ හොරොව්පතානෙන් එවන් පොලිස් නිලධාරියෙක් පිළිබඳ පුවතක් වාර්තා විය. පාස්කුඉරිදාප්‍රහාරය මෙහෙය වූ සහරාන් නම් ත්‍රස්තවාදියාගේහිතවතකු වූ අබ්දුල් මජිඩ් මොහොමඩ් නියාස් නමැත්තා හොරොව්පතාන පොලිසිය මගින්අත්අඩංගුවට ගන්නේ පසුගිය අප්‍රේල් මස 28 දිනය. හොරොව්පතාන මුක්කරවැව පදිංචි මවුලවිවරයකු වූ නියාස් තිඹිරිඅත්තවල විද්‍යාලයේ ගුරුවරයෙකි. එම ප්‍රදේශයේ අරාබි පාසලක්ද පවත්වාගෙන ගියේය. ඊට අමතරව ඔහු අල්ෆලා චැරිටබල් ෆවුන්ඩේෂන් නමින් රාජ්‍ය නොවන සංවිධානයක්ද පවත්වාගෙන යමින් සිටි අයෙකි.

සැකකරු නිදහස්කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති සුගත් රොෂාන් සංජීවට රුපියල් ලක්ෂ 05 ක අල්ලසක්දීමට උත්සාහ කළ අබ්දුල් කෆූර් මොහොමඩ් සෆාන් නම් අයකු අල්ලස්හෝදූෂණවිමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවටගන්නේ පසුගිය 08 බදාදාය. ඒ පොරොන්දු වූ රුපියල් ලක්ෂ 05 ක අල්ලස් මුදලෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්ද සමගය.

තමන්ට අල්ලස්දෙන්නට උත්සාහ කළ අය පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව විසින් නීතියේ රැහැනට හසුකර දුන් පළමු අවස්ථාව මෙය නොවේ. 2015 වසරේදී සුගත් රොෂාන් සංජීව සේවය කළේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ලෙසය. ඒ සමයේ මනුෂ්‍යඝාතනසිද්ධියක් සම්බන්ධයෙන් වත්තල උප නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනිණ. ඔහු මුදා හැරීමට චූදිත උප නගරාධිපතිවරයාගේ සොහොයුරා රුපියල් ලක්ෂ 40 ක අල්ලසක් යෝජනා කළේ ය. ඒ අල්ලස් මුදලෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීවට දෙන්නට පැමිණි අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගැනිණ. එකී අවංක කාර්යය වෙනුවෙන් එවකට හිටපු පොලිස්පති එන්. කේ. ඉලංකෝන්ගේ ඇගයීම් ලිපියක් සමග රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද මේ පොලිස් පරීක්ෂකවරයාට හිමි විය.

මේ අන්දමට නීතියට අනුව අවංකව කටයුතු කරන මේ පොලිස් නිලධාරියා දූෂිතපොලිස්නිලධාරින්ට පමණක් නොව ​‘‘පොතට අනුව’’ පමණක් කටයුතු කරන දරදඬුපොලිස් නිලධාරින්ටද ආදර්ශයකි. ඒ ඔහු පොතට පමණක් සීමා වූ ‘හොඳ’ නිලධාරියකු නොවන බැවිනි.

1989 වසරේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ සුගත් රොෂාන් සංජීව 2011 වර්ෂය වන විට සේවය කරමින් සිටියේ වව්නියාව සෙට්ටිකුලම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙසය. යුද්ධයනිමාවීතිබූ ඒ සමය යළිත් වරක් උතුර, දකුණ අතර ගමනාගමන කටයුතු බාධාවකින් තොරව සිදු වූ වකවානුවකි. ඒ අනුව කොළඹ – මන්නාරම අතර ගමනාගමනය ඉහළ ගොස් තිබූ අතර ඒසමගම මේ මාර්ගයේ වාහන අනතුරුද ඉහළ ගොස් තිබිණ.

මේ තත්ත්වය නිරීක්ෂණය කළ සුගත් රොෂාන් සංජීව මන්නාරම – කොළඹ දීර්ඝ ගමන අතරතුර රියැදුරන්ට නැවතී විවේක ගැනීමට ස්ථානයක් සෙට්ටිකුලමේ නිර්මාණය කිරීමට පියවර ගත්තේය. මේ ස්ථානයේ වාහන නවත්වන රියැදුරන්ට පොලිසිය ගානේ උණුසුම් ඉඟුරු තේ කෝප්පයක්ද නොමිලයේම ලැබුණේය. රාත්‍රී හතේ සිට උදෑසන හත දක්වා විවෘතව තිබූ මේ විවේක මධ්‍යස්ථානයේ අවශ්‍ය නම් රියැදුරකුට කෙටි නින්දකට වුව පහසුකම් සලසා තිබුණේ ය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළ නංවන්නට හේතුවන මේ සත් ක්‍රියාව ගැන රටේ වැඩි දෙනා නොදැන සිටියද. ජපානයේ ජස්ටිකා ආයතනය ඊට නිසි ඇගයීමක් ලබා දුන්නේය. ඒ 2013 වසරේ මෙරට ජනතාවට සේවය සලසන හොඳම ආයතනය ලෙස සෙට්ටිකුලම පොලිසියට සම්මානයක් පුද දෙමිනි. ඒ වසරේ එස් 5 සංකල්පය ක්‍රියාත්මක කළ පුද්ගලයා ලෙස ජස්ටිකා ආයතනය තෝරා ගන්නේද පොලිස් පරීක්ෂක සංජීවය. 2016 වසරේදී හොරොව්පතාන පොලිසිය හොඳම ඵලදායිතා සම්මානය දිනා ගන්නේද ඔහුගේ නායකත්වය යටතේය. මේ අන්දමට දැනට ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට දිනා දී ඇති දෙස් විදෙස් සම්මාන ගණන නවයකි.

පොලිස් නිල ඇඳුමට යටින් යහපත් මනුෂ්‍යයකු සිටිය හැකි බව බොහෝ දෙනකු විශ්වාස කරන්නේ නැත.

එහෙත් පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව බොහෝ දෙනාගේ එම විශ්වාසයටද අභියෝග කළ නිලධාරියෙකි. රාත්‍රියේ කුලියට ගසක් උඩ සිය ආබාධිත දියණියද සමග පැල් රකින හොරොව්පතානේ ඈත ගම්මානයක තාත්තා කෙනකු පිළිබඳ වාර්තාවක් අපි මීට මාස කීපයකට පෙර පළ කළෙමු. ‘‘මේ තමයි තාත්තා’’ යන ශීර්ෂ පාඨය සහිතව පළ වූ මේ පුවත දුටු පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව රාත්‍රියක එම ගස මුලට ගොස් සියලු විස්තර දෑසින් දැක සිය සහෝදර නිලධාරින්ගේද දායකත්වය ඇතිව මේ පියාට හා දියණියට අංග සම්පූර්ණ නිවසක්, පියාට රැකියාවක් මෙන්ම ඔවුන්ගේ රැකවරණයටද අවශ්‍ය පියවර ගත්තේය.

පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව අවංක නිලධාරියකු ලෙසත්, යහපත් මනුෂ්‍යයකු ලෙසත් රටට බරක් නොමැති අයකු ලෙස කටයුතු කරන්නේ ඔහුගේ දෛවය ඔහුට බරපතළ අසාධාරණයක් කර තිබියදී වීම විශේෂයෙන් සටහන් කළ යුතුය. 2016 වසරේදී ඔහුගේ බිරිඳ හා දියණිය යන දෙදෙනාම සාහසිකයකුගේ පිහිපාරකටලක්ව මෙලොව හැර යන්නේ දියණියගේ සිඟිති පුතු ඔහු සමග තනි කරමිනි. තම පෞද්ගලික ජීවිතයේ එතරම් බරපතළ අභාග්‍ය සම්පන්න සිද්ධියකට මුහුණ දුන්නද, ඉන් නොසැලී තවදුරටත් මිනිසුන් කෙරෙහි වූ දයාර්ද්‍ර සිතකින් සිය සේවය ඉටුකරන්නට තරම් ඔහුගේ සිත ශක්තිමත්ය. සිය රාජකාරියට පමණක් සීමා නොවූ මේ යහපත් නිලධාරියා මේ වන විට සිය බල ප්‍රදේශයේ නිවාස අහිමි පවුල් තුනකට නිවාස සාදවා දීමට කටයුතු කර ඇති අතර, ගමින් ගම යමින් දරුවන්ගේ රැකවරණයටත්, මත්ද්‍රව්‍යනිවාරණයටත්දේශන පවත්වමින් සිටින්නේ දයාබර පියකු මෙනි. මේ එවන් නිලධාරින්ම නොවන මිනිසුන් පොලිසියට වැඩි වැඩියෙන් වුවමනා කරන කාලයකි.

ජයන්ත සුබසිංහ/ www.aruna.lk

LEAVE A REPLY