දිනය ගත වූ සතියේ අටවෙනි බදාදා ය. වෙලාව ප.ව.6.55 ය.

අපි රූපවාහිනී ප්‍රවෘත්ති අසමින් හා දකිමින් සිටියෙමු. ඇස් අදහාගත නො හැකි රූපරාමුවක් අප ඇස් ඉදිරියේය.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා මහ විනාශයක්සිදු වූ මීගොමුවේ, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර තුළ බෞද්ධ භික්ෂූන් හා කතෝලික පූජකවරු රැසකි.

කහ සිවුරුය.

සුදු ලෝගුය.

කහ සුදු සම්මිශ්‍ර අමුතුම දේවත්වයකි.

ඊළඟට, ඊටත් වඩා කුහුල දනවන රූපරාමුවකි. බද්දේගම සමිත හිමි හා පැමිණ සිටි භික්ෂු පිරිස දෙව්මැදුරු බිම අමදිති. හැම භික්ෂු නමක් අතම ඉදලකි.

කට්ට අව්වේය. බිම පුරා දූවිලිය. ඒ රූපරාමුවේ නම්, එකද එක සුදු ලෝගුවක්වත් දක්නට නො වීය.

අප වින්දේ පෙර කිසි දා නො විඳි ආස්වාදයකි!

අප දුටුවේ තරම තර සහෝදරත්වයකි!

අපට දැනුනේ මහ ආඩම්බරයකි!

ඇසට කඳුළු උනන සුලු දර්ශනයකි!

අපි දෑස් පිස දා ගෙන යළි රූපවාහිනිය දෙස බැලීමු..

ඇස් බැන්දුමක් නොවේ මායාවක ලකුණකුදු නැත. සම්පූර්ණ ඇත්තය.

දෙව්මැදුරු බිම අමදින භික්ෂූන් සංඛ්‍යාව හතළිස් නව දෙනෙකැයි නිවේදක පවසයි! නරඹමින් සිටි පූජක පිරිස ඊට අඩු ය!

අප දැන් හැත්තෑවිය පසු කළ ඇත්තන් වෙමු. කතෝලික දෙව්මැදුරු බිම් මත බැඳුනු, හැට අවුරුදු පමණ ඉතිහාසයක් අපේ ජීවිතවල තිබේ. ඒ කිසිදා, කුමන හෝ කතෝලික පියතුමෙකු, තමා බලා කියා ගන්නා දෙව්මැදුරු බිම, දවසේ කිසිදු වේලාවක හෝ ඉදලකින් අතුගානු අප දැක නැත.

අප්‍රේල් 21 දා, උණු උණු රුධිරයෙන් පෙඟී රතුවන්ව තිබූ දෙව්මැදුරු බිම, කසාවතින් බැබළේ.

විශිෂ්ටාකාරයේ හොඳ හිත දැක්වීමකි!

ඊළඟට තවත් රූපරාමුවකි.

අප්‍රේල් 21 රුදුරු බෝම්බයවිසින්කඩා බිඳ කැබලි කරන ලද, බැතිමතුන් පල්ලියේ වත්පිළිවෙත්වලට සහභාගි වෙද්දී අසුන් ගත් දිග බංකු, පිළිසකර කර සිය කරඋර මත තබාගෙන යළි දෙව්මැදුර තුළට ගෙන යන තරුණ මෙන්ම වැඩිහිටි භික්ෂූන්ය.

බුදු හිමිට හා කිතු හිමිට මේ දර්ශන පෙණුනා නම්!

වසර විස්සක පමණ දැඩි හා දීර්ඝකාලීන පුහුණුවකින් පසු, කිතුනු තරුණයෙකු පූජකවරයට පත් කරන්නට පෙර, සිය සියලු ධර්ම හා ලෞකික කටයුතු, තමා විසින්ම කරගන්නා පුහුණුවක් ලබා දේ.

භික්ෂූන්, සිය විහාරාධිපති හිමිවරුන් යටතේ ලබන අවිධිමත් මූලික අධ්‍යාපනයක් මගේ කන වැකී තිබේ.

“උදෑසන අවදිව – මලු පෙත් ආවාස ඇමදිය යුතු – පැන් වඩා වතාවත් කළ යුතු”

කතෝලික පූජකවරුනට එබඳු අධ්‍යාපනයක් නො ලැබේ.පූජක නිලඳුමේ බරසාර බව රැකගෙන අපට එසේ කළහැකි යැයි සිතනවාදැයි, විමසූ විට තරුණ පියනමක අපෙන් ප්‍රශ්න කර සිටියේ ය.

තවත් පුවත් දෙකක් අපි දැන ගතිමු.

එක, අප්‍රේල් 28 ඉරිදා ගම්පහ මීසමේ කිතුනුවන් සඳහා නියමිත දිව්‍ය පූජාව පවත්වා ඇත්තේ, මැදගම පන්සලේ බණ මඩුවේය.

දෙක, පාස්කු ඉරිදාඝාතනයට පත් හා ආපදාවට ලක් වූ කටුවපිටිය, කොච්චිකඩේ හා මඩකලපුවේ කිතුනුවන්ට සෙත් පතා, කැලණි රජමහ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි සංවිධානය කළ පිංකමය.

සියලු පුවත් සිත් නිවනසුලුය!

විපතකසුසුම් විසින් මතු කරනු ලබන මනුෂ්‍යත්වයේ පියුම්!

ක්‍රිස්ටෝපර් පීරිස්

LEAVE A REPLY