සුන්දර රූ සපුවකින් යුතු අරාබි ජාතික රූපවාහිනී මාධ්‍යවේදිනියක වන ෂිරීන් අල් රිෆායි පසුගිය වසරේ ජුනි මාසයේ දී එළිමහන් රාත්‍රී රූගත කිරීමකට සහභාගි වූවාය. ඒ සෞදි අරාබි කතුනට එතෙක් පැවති රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ තහංචිය අහිමි වීම මුල්කොටගත් රූගත කිරීමකි. සෞදි අරාබියේ රියාද්හි මාර්ග පසුබිම් කොට රූපගත කෙරුණු එම වාර්තා වැඩසටහන ඩුබායි කේන්ද්‍රකොටගත් ‘අල් ආන්’ රූපවාහිනී චැනලය ඔස්සේ සජීවී ලෙස ප්‍රචාරය වෙමින් තිබිණ.

එහෙත් ඒ මොහොතේ අනපේක්ෂිත ලෙස හමා ආ මඳ සුළං රැල්ලකින් ෂිරීන් හැඳ සිටි ‘අබායා’ නම් සාම්ප්‍රදායික ඉස්ලාම් ඇඳුම විසිර ගිය අතර ඒ සමගම ඇය ඊට යටින් ඇඳ සිටි ඇඳුම මනාව දර්ශනය විය. එහෙත් ඒ පිළිබඳ තැකීමක් නොකළ ෂිරීන් දිගටම තම කාරියේ යෙදෙන්නට වූවාය. නමුදු ඒ සිදුවීමත් සමගම මුළු සෞදි අරාබියම ‘ගිනියම්’ විය. ඊට හේතුව ඩුබායි රූපවාහිනී චැනලයක් වෙනුවෙන් මෙම සෞදි අරාබි වැඩ සටහන් ඉදිරිපත් කරන්නිය ‘අවිනීත’ ඇඳුමකින් සැරසී සෞදිඅරාබිය තුළම වැඩසටහනක් ඉදිරිපත් කළ බවක් පවසමිනි. එමගින් ඇය ඉස්ලාමීය දේව නියමයන් උල්ලංඝනය කළ බවට ඉදිරිපත් වූ ආගමික මතය සීග්‍රයෙන් රට පුරා පැතිර යන්නට විය.

එම වැඩසටහන ඉදිරිපත් කළ ඩුබායි කේන්ද්‍ර කොටගත් ‘අල්ආත්’ රූපවාහිනිය මැදපෙරදිග කලාපයේ ලිබරල්වාදී රූපවාහිනී චැනලයක් ලෙස ප්‍රකටය. 2006 වසරේ අරඹන ලද සැටලයිට් රූපවාහිනි විකාශයක් වන එය 2011 ලිබියානු සිවිල් යුද්ධයේ දී ඝාතනයකෙරුණු හිටපු ලිබියානු ජාතික මුවම්මර් ගඩාෆිගේ අවමංගල්‍යය විකාශය කළ ලෝකයේ එකම රූපවාහිනී නාලිකාව වශයෙන් ද ප්‍රකටය.

‘සැබෑ පුවත් සැබෑ විනෝදාශ්වාදය’ යන තේමාව ඔස්සේ සිය වැඩසටහන් විසුරුවා හරිනු ලබන අල්ආන් රූපවාහිනිය ෂිරීන් ලවා කළ මෙම ඉදිරිපත් කිරීමද සැබෑ පුවත් අතුරින් නරඹන්නන් හට විනෝදාශ්වාදයක් හෝ අනුරාගී වින්දනයක් ලබා දීම පිණිස කෘත්‍රිමව සැලසුම් කරන ලද ‘මාකටින් වැඩක්’ ද යන සැකයද අතනින් මෙතැනින් හිස ඔසවන්නට විය.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ෂිරීන් එම පටිගත කිරීම සඳහා හැඳ සිටි ‘අබායා’ ඇඳුම කුඩා සුළං රැල්ලක දී වුව එහා මෙහා විය හැකි දුහුල් ඇඟලුමක් වීමය. මේ හේතුව නිසාම මෙම සිදුවීම ‘රියාද් හි නිරුවත් කාන්තා රිය පැදවීම’ (Naked Women Driving in Rayadh) යන උපහාසාත්මක නමින් ඇතැම් මාධ්‍ය මගින් හඳුන්වා දී තිබිණ. එහෙත් ඒ සම්බන්ධයෙන් පසුව මාධ්‍යයට අදහස් පළ කළ ෂිරීන් කියා සිටියේ තමන් ඒ මොහොතේ නිරුවතින් තබා අවිනීත අසංවර ඇඳුමකින් වත් සැරසී නොසිටි බවයි.

ඉස්ලාම් කාන්තාවගේ සාම්ප්‍රදායික ඇඳුම මෑතක සිට ජාත්‍යන්තර වශයෙන් පවා මහත් ආන්දෝලනයටත් කතාබහටත් ලක්වන්නකි. දැනට දශකයකට හමාරකට පෙර සිට ශ්‍රී ලාංකික සමාජයේද විශේෂ කතාබහකට ලක් වූ එය සමකාලීන සමාජ අර්බුද අතරින් ද ඉහළම තැනකට පත් වූයේ පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා සිදු වූමරාගෙන මැරෙනබෝම්බදාමයත් සමගිනි. එහෙත් ඒ මුල්කොට ඉස්ලාම් කතුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් ඉදිරිපත්වන සමාජ විවේචන බොහෝමයක් මූලික වටයේදීම ඉස්ලාම් සමාජයෙන් ප්‍රතික්ෂේප වන බව පෙනේ. ඒ ඒවා ඊට අදාළ ඉස්ලාමීය සම්ප්‍රදායන්වල එන නිවැරදි පාරිභාෂික වදන් වෙනුවට ඒවාට අදාළ නොවන වෙනත් වදන් භාවිත කරමින් ගොනුවන නිසාය.

ඉස්ලාමීය කාන්තාවන් අඳින හිස, දෑතේ මැණික් කටු සහ පයේ වළලුකර දක්වා වැසෙන එහෙත් මුහුණ නොවැසෙන ඇඳුම හඳුන්වනුයේ ‘හිජාබ්’ යනුවෙනි. මෙය සමස්ත මුස්ලිම් කතුන්ගේ ඇඳුම සඳහා යොදන පොදු ව්‍යවහාරයක් ද වෙයි. දෙනෙත පමණක් නිරාවරණය වන පරිදි මෙම ඇඳුම සැකසුණු විට ඊට ‘නිකාබ්’ යැයි කියනු ලැබේ. එමෙන්ම මේ වන විට දැඩි සමාජ විවේචනවලට එල්ල වී ඇති දෙනෙත පවා බාහිර පුද්ගලයන්ට නොපෙනෙන සේ සැකසුණු ඉස්ලාම් කාන්තා ඇඳුම ‘බුර්කා’ යනුවෙන් හැඳින්වෙයි. උර්දු බසින් ‘බුර්කා’ ලෙස හැඳින්වෙන මෙය පර්සියන් බසින් ‘ෆර්දා’ ලෙස හඳුන්වනු ලැබේ. මීට අමතරව අප ඉහත සඳහන් කළ ෂිරීන් ඇඳ සිටි අන්දමේ ඉස්ලාම් සංස්කෘතියට අයත් දිගු කබාය හැඳින්වෙනුයේ ‘අබායා’ යන නමිනි.

ඉස්ලාම් කතුන්ගේ ඇඳුම සකස් විය යුතු ආකාරය ඉස්ලාමයේ මූලික ආගමික ග්‍රන්ථය වන අල් කුරාණයේ විසි හතරවන පරිච්ඡේදයේ 30-31 වන පාඨවලින් විස්තර කෙරේ. එහිදී ‘මන්රම්’ වශයෙන් විස්තර කෙරෙන මතු දැක්වෙන පුද්ගලයන්ගෙන් බැහැරට යන විට ඉස්ලාමීය කාන්තාව හැඳ සිටිය යුතු ආකාරයක් දැක්වෙයි. ඉහත සඳහන් කුරාන් පාඨයට ඉස්ලාමීය කාන්තාවන්ටත් තම ස්වාමිපුරුෂයන්, පියවරුන් (පිය පරම්පරාවේ ආදිතමයන් දක්වා) සැමියාගේ පියවරුන්, තම පිරිමි දරුවන්, සැමියාගේ පිරිමි දරුවන් (මෙය ඉස්ලාම් බහු විවාහ ක්‍රමය මත පදනම් වූවකි.) තම සොයුරියන්, ඔවුන්ගේ දරුවන්, තම අන්තේවාසික කතුන්, තම වහලුන්, කාමරාගීනොපිබිදෙන මහල්ලන් සහ කාන්තා සිරුර ගැන නොවැටහෙන කුඩා පිරිමි දරුවන් යන පිරිස් හැරුණු කොට අන් සියල්ලන් හමුවේදීම ඇඳුමින්, පැලඳුමින් විශේෂ ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කළ යුතුය.

මෙහිදී ඉහත සඳහන් අයුරින් ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් අඳින ලෙස ඉස්ලාමීය කතුන්ට දන්වා ඇත්තේ ‘පිල්බාබ්’ නමින් යුතු හිස වසන සලුවෙන් ළමැද වසා ගන්නා ලෙස හා සිරුරේ ඉන්ද්‍රිය (විශේෂයෙන් නිතඹ ප්‍රදේශය) පිටතට නෙරා එන අයුරින් ශරීරයට සිර වූ ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසිනි. අල් කුරාණයේ තිස්තුන් වන පරිච්ඡේදයේ පනස් නවවන පාඨයෙන් මෙය මනාව පැහැදිලි වෙයි. එමෙන්ම ඇඳුම් පැලඳුම් පිළිබඳ මෙම ආචාර විචාර සම්ප්‍රදාය කාන්තාවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමටත්, ඔවුන්ගේ විනයවත් බව ආරක්ෂා වීමටත්, ඔවුන්ට පුරුෂ පක්ෂයේ අතවරවලින් අත්මිඳීමටත් මුල්වන බව පෙන්වා දෙන කුරාණය ඉස්ලාමීය කාන්තාවන් ගමන් කරන විට පොළොවට තදින් පය ගැටෙන සේ ගමන් නොකළ යුතු බව ද අවධාරණය කරයි. ඒ හුදෙක් ඔවුන් ගමන් කිරීමේදී ඔවුන්ගේ නිතඹ සැලෙන අන්දම අන්‍යයන්ට ප්‍රදර්ශනය වීම වළක්වාලනු පිණිසය. මෙයද කුරාණයේ විසිහතරවන පරිච්ඡේදයේ තිස්එක්වන පාඨයෙන් ප්‍රකාශ වේ.

ඉස්ලාමීය මූල සම්ප්‍රදාය තුළ පවතින මේ ඉගැන්වීම් පසු කාලීන වෙනත් දේශපාලනික, සමාජ, ආර්ථික සේම භෞතික දේශගුණික ආදී සාධක මත ද විවිධාංගීකරණයට ලක්ව ඇති බව පෙනෙයි. ඒ බව ඉතා පැහැදිලිවම පෙනී යන්නේ මීට දශක තුන හතරකට පෙර ශ්‍රී ලාංකීය මුස්ලිම් කතුන් අතරේ දක්නට නොලැබුණු සර්වාංගයම වසා ගත් බුර්කාව හෙවත් ෆර්දාව නම්වන දෙනෙත පවා බාහිරට දිස් නොවන අැඳුම මෑතක සිට ප්‍රසිද්ධ සමාජයේ රඟ දැක්වෙන බැවිනි. ‘‘හිස් වැසුම්, ජැකට්, හෙල්මට් ගලවා ඇතුළු වන්න’’ යනුවෙන් සඳහන් විශේෂ ආරක්ෂිත ක්‍රමෝපායන් ක්‍රියාවට නැංවෙන මූල්‍යායතන, ආදියට මෙලෙස සිරුර සම්පූර්ණයෙන් ආවරණය කොටගත් කාන්තාවන් හෝ එම ඇඳුමින් කාන්තාවන් ලෙස අනුමාන කළ හැකි අයවලුන් ඕනෑතරම් නිරුපද්‍රිතව ඇතුළු වන බව ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම ඔවුන්ගේ එම බුර්කාව හෙවත් ෆර්දාව ජාති ආගම් භේදයකින් තොරව අන්‍යයන්ට සේම අවශ්‍ය නම් එම කතුනට වුව අවභාවිත කිරීමට ඇති හැකියාව අප අමතක කළ යුතු නොවේ. එම ඇඳුමින් සැරසී සිටින කාන්තාවක බාහිර ස්ථානයකදී තම ඥාතීන්ට සේම තම ස්වාමිපුරුෂයාට හෝ ඔහුගේ ඥාතීන්ට හඳුනාගත නොහැකි බැවිනි. මෙම තත්ත්වය මුල්කොටගෙන බාහිර සමාජය හමුවේ අනාවරණය නොවන නීති විරෝධී සහ සදාචාර විරෝධී අප්‍රසන්න රහස් කොපමණ ප්‍රමාණයක් තම ප්‍රජාව සතුව ඇත්දැයි හොඳින් දැන හිඳින්නෝද ඔවුහුම ය.

ඒ කෙසේ හෝ මෙවන් තත්ත්වයක් යටතේ ඉස්ලාම් දහම අදහන, මුස්ලිම් කතුන්ට ඔවුන්ගේ සංස්කෘතිකමය වශයෙන් ඇඳුම් විලාසිතා අනුගමනය කළ නොහැකිද? යන්න මෙය කියවන ඔබ තුළ වුව පැන නැගිය හැකි සාධාරණ පැනයකි. එහෙත් ඒ සම්බන්ධයෙන් දිය හැකි පිළිතුර වන්නේ ලොවපුරා මුස්ලිම් කතුන්ට හිමි එම වරප්‍රසාදය මේ වන විට ලොව පුරා හිස ඔසවමින් හිඳින මුස්ලිම් අන්තවාදීන් විසින් සීග්‍රයෙන් අවප්‍රමාණ කරමින් හිඳින බවකි.

මීට දශක කීපයක් තෙක් ශ්‍රී ලාංකික ජන සමාජය තුළට නොපිවිසි ‘බුර්කාව’ හෙවත් ‘ෆර්දාව’ ශ්‍රී ලාංකීය මුස්ලිම් කතුන් ඔස්සේ මහත් ආන්දෝලනාත්මක ලෙස සමාජ කරළියට පිවිසුවා ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව අද වන විට අප රටේ ඇතැම් මුස්ලිම් කතුන් සෞදි අරාබි කතුන් ඉක්මවා ගොස් ඇත.

මුස්ලිම් කතුන්ගේ ඇඳුම් විලාසිතාද හිජාබ් හෝ අබායා යනුවෙන් හඳුන්වනු ලැබේ. මූලික ඉස්ලාම් ආගමික අණපනත් අනුව සැකසුණු මෙම විලාසිතා ලොව පුරා පැතිර ඇති අතර මේවායේ සුන්දරත්වය අනුව මුස්ලිම් නොවන කාන්තාවන් පවා මෙම විලාසිතා අනුගමනය කිරීමට බැඳී සිටිති.

මෙම ‘අබායා’ නම්වන දිගු කබාය කළු පැහැයෙන් යුතු වීම කෙරෙහි සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ වැඩි අවධානයක් යොමුව තිබුණද විවිධ පැහැයන්ගෙන් යුතු රේන්ද සහ එම්බ්‍රොයිඩර්වලින් හැඩගැන්වූ අබායා විලාසිතා ඩුබායි හෙවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේම ශ්‍රී ලංකාවේද අලෙවි කරනු ලැබේ. කාන්තාවන් මෙවන් ‘අබායා’ විලාසිතා අනුගමනය කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය පවා කිසියම් සහනශීලී පිළිවෙතක් අනුගමනය කිරීම ලොව සීග්‍ර ප්‍රගතියක් ලබා හිඳින මානව බුද්ධි පරිණාමයේ විශිෂ්ට ප්‍රතිඵලයකැයි සමාජ විද්‍යාඥයෝ කියති. ඒ කෙසේ හෝ පැරණි පර්සියාව සහ චීනය අතර වැටී තිබූ සේද මාර්ගය ඔස්සේ අතීතයේ මැලේසියාව සහ ඉන්දුනීසියාව ආදී ආසියාතික රටවලට සංක්‍රමණය වූ මෙම අබායා යන්න එම රටවල දී ‘කෙබායා’ යනුවෙන් ප්‍රතිස්ථාපිත වී තිබේ. නමුදු එම රටවල ජන සංස්කෘතිය හා බද්ධව ඇති ‘කෙබායා’ මැදපෙරදිග ‘අබායා’වලට වඩා ලිහිල් බවක් දක්වනුයේ කාන්තා සිරුරේ අත්පා ආදී වැඩි ප්‍රමාණයක් නිරාවරණය කරමිනි.

එය අතීතයේ එහි පැවති පෙරදිග සංස්කෘතික සම්ප්‍රදායන් සමග ද මුසු වීමකි. අප බොහෝ දෙනකු නොදැන සිටියද, ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසකගේ ගෘහස්ථ භාවිතය සහ යම් පිරිසකගේ සමාජ භාවිතය සඳහා යොදා ගැනෙන සරම ද පැරණි පර්සියාව හරහා ආසියාවට සංක්‍රමණය වූ ඇඳුමකි. අදටත් මැලේසියාවේදී සරොන් (Saron) සහ ඉන්දුනීසියාවේදී සරූන් (Sarun) යනුවෙන් නම් ලබා ඇති මෙය එම රටවල ස්ත්‍රී පුරුෂ දෙපිරිසම පොදු ඇඳුමක් ලෙස භාවිත කරති.

එමෙන්ම අරාබිකරයේ ‘අබායා’ වශයෙන් හැඳින්වී ආසියාවේ දී ‘කෙබායා’ යනුවෙන් එම ඇඳුම හැඳින්වුණු වදන හීන්සීරුවේම සිංහල බසට එක් ව ඇත්තේ ‘කබාය’ නමිනි. ඒ අනුව දුරාතීතයේ සිට භාෂාමය සහ සංස්කෘතික වශයෙන් ශ්‍රී ලාංකිකයන් හා විශිෂ්ට සහජීවනයක් පළකර ඉන්දු – අරාබි සම්භවයකින් යුතු අප රටේ මුස්ලිම් ප්‍රජාව මේ වන විට සමස්ත ලෝකයටම පිළිලයක් වෙමින් පවතින දරුණු ආගමික අන්තගාමීත්වයක් වෙත යොමු වීම බිහිසුණු සමාජ ඛේදවාචකයකට මුල පුරන්නකි. එහෙත් එය වළකා ගැනීම ශ්‍රී ලාංකීය ඉස්ලාමික නායකයන්ගේ අනිවාර්ය වගකීමක් බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය.

මුස්ලිම් කතුන්ගේ ඇඳුම් විලාසිතාද හිජාබ් හෝ අබායා යනුවෙන් හඳුන්වනු ලැබේ. මූලික ඉස්ලාම් ආගමික අණපනත් අනුව සැකසුණු මෙම විලාසිතා ලොව පුරා පැතිර ඇති අතර මේවායේ සුන්දරත්වය අනුව මුස්ලිම් නොවන කාන්තාවන් පවා මෙම විලාසිතා අනුගමනය කිරීමට බැඳී සිටිති.

කුරාන් පාඨයට ඉස්ලාමීය කාන්තාවන්ටත් තම ස්වාමිපුරුෂයන්, පියවරුන් (පිය පරම්පරාවේ ආදිතමයන් දක්වා) සැමියාගේ පියවරුන්, තම පිරිමි දරුවන්, සැමියාගේ පිරිමි දරුවන් (මෙය ඉස්ලාම් බහු විවාහ ක්‍රමය මත පදනම් වූවකි.) තම සොයුරියන්, ඔවුන්ගේ දරුවන්, තම අන්තේවාසික කතුන්, තම වහලුන්, කාමරාගී නොපිබිදෙන මහල්ලන් සහ කාන්තා සිරුර ගැන නොවැටහෙන කුඩා පිරිමි දරුවන් යන පිරිස් හැරුණු කොට අන් සියල්ලන් හමුවේදීම ඇඳුමින්, පැලඳුමින් විශේෂ ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කළ යුතුය.

තිලක් සේනාසිංහ / www.aruna.lk

 

LEAVE A REPLY