ක්‍රීඩා පිටිය තුල දී පමණක් නොව ඉන් පිටතදීත් ඉතාමත් විනෝදකාමි සරල චරිතයක් ලෙස පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද ලෙස ඔබ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ශහීඩ් අෆ්රිඩි හැඳින්විය හැක.

පසුගිය දිනයක අෆ්රිඩි තමන් එදා මෙදාතුර නොයෙකුත් බාධක කම්කටොළු හැලහැප්පීම් මධ්‍යයේ ආ ජීවන ගමන් මඟ පිළිබඳ නැවත වරක් සිහියට නඟමින් ඒ ඔස්සේ ලියැවුණු සිය චරිතාපදානය එළිදක්වා තිබුණු අතර එහි දී ඔහු මෙතෙක් කලක් තරමක් මතභේදයට තුඩු දුන් නොයෙක් කරුණු කාරණා කිහිපයක් ගැන හෙළිදරව් කර තිබීම මෙහි දී වඩාත් කැපී පෙණුනි.

වයස් පිළිබඳව මතුව ආ කතා බහට අමතරව තවත් ආන්දෝලනාත්මක මත ප්‍රකාශයක් කිහිපයක් අෆ්රිඩිගේ ග්‍රන්ථයේ සටහන්ව තිබීම නිසාවෙන් ක්‍රිකට් ලෝකය වඩාත් උණුසුම් වී තිබේ. ඒ අතරින් පාකිස්තානයෙන් බිහි වූ සාර්ථකම ටෙස්ට් පිතිකරුවා ලෙස අදටත් සැලකෙන ජාවේඩ් මියන්ඩාඩ් හට අෆ්රිඩි විසින් “ඔහු ගතිගුණ අතින් ඉතා කුඩා කෙනෙක්” යනුවෙන් සිදු කර ඇති ප්‍රකාශය වෙතට කාගෙත් අවධානය යොමු වී ඇත.

“ඔහු මුල සිටම මගේ පිතිකරණ ශෛලියට කැමැත්තක් දැක්වූයේ නැහැ. මට මතකයි 1999 ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී විශේෂයෙන්ම චෙන්නායි ටෙස්ට් තරගයට පෙර ඔහු මට කණ්ඩායමත් සමඟ පිතිකරණ පුහුණුවීම් කටයුතුවල නියැලෙන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. නමුත් මම එදා ඔහුට ශතකයකින් පිළිතුරු ලබා දුන්නා වගේම ඒ ටෙස්ට් තරගයත් දිනවලා දුන්නා.”

“ජාවේඩ්ට මං ගැන තිබ්බේ ඉතාමත් පහත් මානසිකත්වයක්. එදා ඒ තරගයෙන් පස්සේ තිබුණු ත්‍යාග ප්‍රදානෝත්සවයට කලින් ඔහු මාව පැත්තකට ඇඳලා අරගෙන කිව්වා ‘මේක හොඳට අහගන්න ඔයාගේ කතාවේ දී මටත් අනිවාර්යයෙන් ස්තූති කරන්න ඕනෑ’ කියලා.මට එවෙලේ ඒක අදහගන්නත් බැරි වුනා.”

“ඔහු ගැන පොඩි හරි ගෞරවයක් තිබුණා නම් ඒ සියල්ල ඔහු විසින්ම එදා නැති කරගත්තා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම අයෙකු වෙන්නට පුළුවන් නමුත් ගතිගුණ අතින් ඔහු ඉතාමත් කුඩා මිනිසෙක්.”

2007 වර්ෂයේ දී ඉන්දීය ආරම්භ පිතිකරු ගෞතම් ගාම්බීර් සමඟ ඇති වූ බහින් බස් වීම පිළිබඳව ද කතා කිරීමට ද අෆ්රිඩි අමතක නොකළේ එම සිදුවීම අතරතුර දී ගාම්බීර් ක්‍රියා කළ ආකරය පිළිබඳ තමාට පුදුමයක් නොමැති බව ද එහි දී සඳහන් කරමිනි.

“ඔහු ස්වභාවයෙන්ම බොරු කේන්තිකාරයෙක්. මං හිතන්නේ ඒක ඔහු හිතන පතන විදියේ වැරැද්දක්.”

“මට තාම මතකයි ඔහු එක ලකුණක් සම්පූර්ණ කරන්න ගිහින් මගේ ඇඟට ගොඩවුන හැටි. එවෙලේ විනිසුරුවන්ට ඒ සිදුවීම එතනින් නතර කරන්න සිදු වුනා, එහෙම නොවුනා නම් මම මැදිහත් වෙලා ඒක ඉවරයක් කරන්න තිබ්බා.”

“කෙටියෙන්ම කිව්වොත් ඒ ඇති වුන බහින් බස් වීමේ දී අපි දෙන්නගේම කාන්තා පාර්ශවයන් ඒ කතාවට ගාවගන්න අපිට සිදු වුනා.”

LEAVE A REPLY