පසුගිය ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන 8කට එල්ල වූ බෝම්බප්‍රහාරවලින් දිවිගලවා ගත් අය අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වනවා.

ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ යොවුන් ක්‍රීඩක හසිත බොයගොඩ එම ක්‍රීඩකයින් දෙදෙනායි.

දසුන් ශානක ප්‍රහාරයඑල්ල වූ මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ එම මොහොතේ දී රැදී නොසිටියේ ඊට පෙර දින ඔහු අනුරාධපුරයේ සිට යළි සිය නිවස වෙත පැමිණීම හේතුවෙන් ඇති වූ වෙහෙසකාරී බව හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහුගේ මව සහ මිත්තණියප්‍රහාරය සිදු වන අවස්ථාවේ රැදී සිටියේ දේවස්ථානය තුළයි.

එහිදී ඔවුන් දෙදෙනාටම තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තමා මව සහ මිත්තණිය සොයා නිවසේ සිට දේවස්ථානය තුළට පැමිණි බවත්, එහිදී පළමුව මව සොයා ගැනීමට හැකි වූ බවත්, දසුන් ශානක සදහන් කළා.

කෙසේ වෙතත් දේවස්ථානයේ එම මොහොතේ පැවැති තත්ත්වය මත සිය මිත්තණිය ජීවතුන් අතර නොසිටිනු ඇතැයි තමා අපේක්ෂා කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මිත්තණිය වටා සිටි බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව තමා දුටු බව බවත්, අවසානයේ වාසනාවකට මෙන් සිය මිත්තණිය ජීවතුන් අතර සිටිනු දැක ගැනීමට හැකි වූ බවත් දසුන් ශානක කියා සිටියා.

මේ අතර, යොවුන් ක්‍රීඩක හසිත බොයගොඩ ෂැන්ග්‍රිලා හෝටලයට ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එහි රැදී සිට ඇත්තේ සිය පවුලේ සාමාජිකයින් සමග උදෑසන ආහාරය ගනිමින්.

කෙසේ වෙතත්, අදාළ ප්‍රහාරයෙන් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සුළු තුවාල පමණක් සිදුව ඇති බව සදහන්.

LEAVE A REPLY