පාර්ලිමේන්තු හමුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලියට අදාල විවාදය අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීම පිළිබඳව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව ඇත. අයවැය ජයග්‍රහණය කිරීමට ආණ්ඩුව පාර්ශවයෙන් මෙහෙයුම් දියත්ව ඇති අතර එය පරාජය කිරීමට විපක්ෂ කණ්ඩායම් උත්සාහ කරයි.

මුදල් හා අනෙකුත් වරප්‍රසාද ලබා දෙමින් විපක්ෂ මන්ත්‍රීවරුන් දිනා ගැනීමට ආණ්ඩුව උත්හසා කරන අතර මේ වනවිට අයවැයට පක්ෂ වන විපක්ෂ මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් කෝටි 10 ක මුදලක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ ඉහල පෙලේ නායකයන් තීන්දු කර ඇත.

කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනුයේ අයවැය පරාජය කිරීමට පෙරමුණු කිහිපයකින් මේ වනවිට මෙහෙයුම් ආරම්භ වී ඇති බවයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලාපොරොත්තුවෙන් පසු වන අමාත්‍යවරයෙකුගේ ආශිර්වාදයද හිමිවී ඇති බවද වාර්තා වේ. තමන්ට පක්ෂ නායකත්වය මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වයද නොලැබෙන බව ඔහුට මේ වන විට අවබෝධ වී ඇති අතර පක්ෂ නායකත්වය ලබා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහගේ බොරු පොරොන්දු වලට නොරැවටී ඔහුව එලවා දැමීමට නායකත්වය ගන්නා ලෙස පසුපෙල මන්ත්‍රීවරුන්ද ඔහුට බලපෑම් කරන බව වාර්තා වේ.

ඒ අනුව එජාප පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ජවිපෙ සමග අයවැය පරාජය කිරීම පිළිබඳව එකඟතාවයකට පිවිස ඇති අතර ඉන් පසුව ඔවුන් විසින් පාර්ලිමේන්තුව විසිරවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ විසින් එය ස්ථිර කිරීමටත් යෝජනා වී ඇත. පසුගියදා “මේ ඉන්නෙ අපේ නායකතුමන්” ලෙස පාර්ලිමේන්තු ලොබියේදී ජවිපෙ නායකයා පෙන්වා එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන හේශා විතානගේ සහ චමින්ද විජේසිරි ප්‍රකාශ කලේ අහම්බයකින් නොවන බව මේ අනුව පැහැදිලි වේ.

වත්මන් නායකත්වය යටතේ තමන්ට හෝ තම පාක්ෂිකයන්ට කිසිදිනක පක්ෂයේ හෝ ආණ්ඩුවේ තැනක් නොලැබෙන බව දැන කලකිරීමෙන් පසුවන එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් 15 කට අධික පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටිති.

මේ වන විට පාර්ලිමේන්තු සංයුතිය අනුව ආණ්ඩුවට පක්ෂව මන්ත්‍රීවරුන් 106 ක් සිටින අතර විපක්ෂව මන්ත්‍රීවරුන් 118 ක් පමණ සිටී. ඉන් ද්‍රවිඩ ජාතික සංධානය සතුව මන්ත්‍රීධූර 16 ක් පවතින අතර අයවැය ජයග්‍රහණය කිරීමට ආණ්ඩුව මෙම මන්ත්‍රීවරුන්ගේ සහය බලාපොරොත්තු වේ. දෙමල ජාතික සන්ධාන ආරංචි මාර්ග අනුව එහි බහුතරයක් අයවැයට විරුද්ධ විය යුතු බවට යෝජනා කර ඇති අතර මේ වන විටත් එහි මන්ත්‍රීවරු දෙදෙනෙක් පක්ෂයේ තීරණය නොසලකා අයවැයට විරුද්ධ වීමට තීරණය කොට ඇත.

විපක්ෂය තුල සිටින යහපාලන ආණ්ඩුවේ ඇමතිධූර දැරූ කිහිප දෙනෙකුගේ සහය ලබා ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වුවද යම් හෙයකින් ආණ්ඩුව පරාජය වී මහ මැතිවරණයකට යාමට සිදුවන තත්වයක් තුල ඔවුන්ද අයවැයට සහය දැක්වීම පිලිබඳව දෙගිඩියාවකට පත්ව සිටී.

මේ තත්වය තුල අයවැය පරාජයට පත්වීමට වැඩි අවස්ථාවක් ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය තුල සාකච්ඡා වී ඇත. එසේ වුවහොත් මහ මැතිවරණයකට ගොස් ජන මතය විමසීම හොඳම විකල්පය බව එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අදහස වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද එක්ව අයවැය පරාජය කිරීමේ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති බව විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වතැයි සැක කරන තම පිලේ මන්ත්‍රීවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා කොට ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දීමත් එක්සත් ජාතික පක්ෂයේ සිටින ආණ්ඩුව ගැන කළකිරීමෙන් පසුවන මන්ත්‍රීවරු තම පිලට දිනා ගැනීමට කටයුතු කිරීමත් එම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ ලෙස වාර්තා වේ.

අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කරන ආකාරයට අයවැය ඡන්ද විමසීමේ ප්‍රතිපලය කුමක් වුවද ආණ්ඩුවේ අර්බුධ උත්සන්නවී ඉතා අස්ථාවර තත්වයකට පත්ව ඇති බැවින් ජනාධිපතිවරණට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් පවතී.

ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා මෙන්ම මුදල් ඇමතිවරයාද ප්‍රකාශ කරනු ලැබුවේ මෙවන් පසුබිමක වීම විශේෂත්වයකි.

අයවැයත් සමග දිනෙන් දින උණුසුම් වන දේශපාලන පිටියේ අභ්‍යන්තර තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප නිරන්තර සූදානමින් සිටිමු.

අයවැය ගල උඩ සටනක් වී ඇති පසුබිමක ඉදිරි කාල සීමාව බොහෝ දෙනාගේ දේශපාලන ඉරණම තීන්දු වන කාලසීමාවක් වන බව නිසැකය.

LEAVE A REPLY