ජීවිතයේ සාර්ථකත්වය පිණිස නොයෙක් දේවල් පුරුදු පුහුණු කරගන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඇතැම් විට විශාල වශයෙන් මුදල් වැයකරමින් බොහෝ කැපකිරීම් කොටයි ඒ දේවල් ජීවිතයට පුරුදු පුහුණුකර ගන්නේ. සැබෑවට ම අපි ජීවිතයට පුරුදුකර ගන්න දේවල් අතර වඩාත් ම ශ්‍රේෂ්ඨ දෙය කුමක්දැයි දිනක් දෙවි කෙනෙකුට ගැටලුවක් මතු වුණා.

“කිංසු යාව ජරා සාධු?” – “වයසට යන තාක් ම පුරුදුකර ගත යුත්තේ කුමක් ද?” භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ශාස්තෘන් වහන්සේ වෙත එම ප්‍රශ්නය යොමු කරන ලදුව භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ “සීලං යාව ජරා සාධු” – “වයසට යන තෙක් ම පුරුදුකර ගැනීමට හොඳ ම දෙය සීලය” බවයි. එසේ නම් තමන්ගේ යහපත කැමති කෙනා ජීවිතයේ අවසන් මොහොත දක්වා ම අත්නොහැර පුරුදුකර ගත යුත්තේ සීලය ම යි.

‘සීලය’ යනු කය වචනය දෙකෙහි සංවර බවයි. තෙරුවන් සරණෙහි මනාව පිහිටි ගිහි ශ්‍රාවකයා තමන්ගේ යහපත කැමැත්තෙන් නිරන්තරයෙන් පංචසීලය ආරක්ෂා කරනවා. එමෙන් ම පොහෝ දිනයන්හි අෂ්ටාංග උපෝසථය සමාදන් වී ගෞරවයෙන් ආරක්ෂා කිරීමත් තථාගත ගිහි ශ්‍රාවකයාගේ ගිහි වතෙහි ප්‍රධානතම අංගයක්.

නමුත් නිති පන්සිල් – පොහොයට අටසිල් සමාදන් වීම, ගෞරවයෙන් සුරැකීම අද සමාජයේ බෙහෙවින් දුරස්වෙමිනුයි පවතින්නේ. විශේෂයෙන් ම පොහෝ දිනයට අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීමට දක්වන ප්‍රවණතාවය පවතින්නේ බොහෝ අභාග්‍ය සම්පන්න තත්ත්වයක. විශේෂයෙන් ම තරුණ වයසේ පසුවන දරුවන් අතර පොහොයට පෙහෙවස් සමාදන් වීම බොහෝ සෙයින් දුර්ලභයි. එයට හේතුව උපෝසථ සීලය සුරැකීමේ ආනිශංසයන් පිළිබඳ ව සමාජය තුළ පවත්නා නොදැනුවත් භාවය යි.

ජීවිතයට බොහෝ යහපත සලසන අෂ්ටාංග උපෝසථ සීලයේ ආනිශංසයන් පිළිබඳව දිනක් භාග්‍යවතුන් වහන්සේ විශාඛා මහෝපාසිකාවට සිදු කළ දේශනාවක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ දැක්වෙනවා.

“විශාඛාවෙනි, මෙසේ අංග අටකින් යුක්ත ව උපෝසථ සිල් සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.

කොපමණ මහත්ඵල වෙයි ද? කොපමණ මහානිශංස වෙයි ද? කොපමණ මහා බැබලීම් ඇත්තේ වෙයි ද? කොපමණ මහා පැතිරීම් ඇත්තේ වෙයි ද?

විශාඛාවෙනි, එය මෙබඳු දෙයකි. යමෙක් මේ අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේතිය, වංග, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ යන සොළොස් මහා ජනපදයන්හි බොහෝ සත්රුවන් ඇති ව, ඉසුරුමත් බව ත් අධිපති බව ත් ඇති ව, රාජ්‍ය කරවන්නේ වෙයි ද, මෙය අෂ්ටාංග උපෝසථය සමාදන් වීමෙන් ලැබෙන විපාකයෙහි සොළොස් කලාවෙන් එක් කලාවක් වත් නොවටියි. ඒ මක් නිසා ද යත්, විශාඛාවෙනි, මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසඳා බලද්දී ඉතා දිළිඳු ය.

(විසාඛූපෝසථ සූත්‍රය – අං. නි. 5)

එමෙන්ම එම දේශනාව තුළ ම උපෝසථ සීලයේ අනුසස් පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ වර්ණනා කොට වදාළා.

“මේ සඳ හිරු අතර ලෝකයෙහි මුතු, මැණික්, වෛරෝඩි, සොඳුරු සිංගී ස්වර්ණ, කංචන යනාදී යම් ධනයක් වේ ද, හටක නම් රත්‍රන් ආදියක් වෙයි ද, ඒ සියල්ල අට්ඨාංග උපෝසථ සිල් සුරකින තැනැත්තාට ලැබෙන විපාකයෙන් සොළොස් වන කලාවෙන් කලාවකට ද නොපැමිණෙයි. සඳ එළිය ත්, සියළු තරු එළිය ත් එබඳු ම ය.

එහෙයින් සිල්වත් වූ ස්ත්‍රියක් වෙයි ද, පුරුෂයෙක් වෙයි ද, අංග අටකින් යුක්ත වූ උපෝසථ සිල් මැනැවින් ආරක්ෂා කොට සැප උපදවාලන පින් කොට නින්දා නැති ස්වර්ගයට යන්නාහු ය.”

මෙසේ මහත්ඵල මහානිසංස සැලසෙන ආකාරයට ශ්‍රාවකයා අෂ්ටාංග උපෝසථ සීලය සුරැකිය යුත්තේ කෙසේ ද? කෙබඳු අරමුණකින් ද? ආර්ය උපෝසථ දිනයේ තථාගත ශ්‍රාවකයා වාසය කරන විහරණය කෙබඳු ද? යන්නත් භාග්‍යවතුන් වහන්සේ එම දේශනාවේ ම පෙන්වා දී තිබෙනවා. එහි දී තථාගත ශ්‍රාවකයා නුවණින් කල්පනා කළ යුත්තේ මෙසේයි.

‘දිවි ඇති තෙක් රහතන් වහන්සේලා සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකුණු සේක. දඬු මුගුරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලැජ්ජා ඇති ව, දයාවෙන් යුක්ත ව, සියළු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පී ව වසන සේක. මම ත් අද මේ රාත්‍රිය ත්, මේ දහවල ත්, සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකී සිටිමි. දඬු මුගුරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලැජ්ජා ඇති ව, දයාවෙන් යුක්ත ව, සියළු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරමි. මම මේ අංගය සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’

මෙසේ උතුම් රහතන් වහන්සේලාගේ නික්ලේශී ජීවිත පැවැත්ම සිහිකරගෙන එයට උපහාර දක්වනු පිණිස, එහි හික්මෙනු පිණිස, උතුම් පින් පුරවා ගැනීම පිණිස, මෙලොව පරලොව යහපත උපදවාගනු පිණිස, උතුම් නිවන්මගෙහි ගමන් කරනු පිණිස ය තථාගත ශ්‍රාවකයා පොහෝ දින අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වී සුරකින්නේ.

එම පළමු ශික්ෂාපදය සමාදන් වූවා සෙයින් ම හෙතෙම ඉතා ගෞරවයෙන් යුතුව රහතන් වහන්සේලා සිහිකර ගනිමින් සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙයි. අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකී බ්‍රහ්මචාරී ව වාසය කිරීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙයි. බොරු කීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙයි. විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙයි. නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන නැරඹීමෙන් ද මල් සුවඳ විලවුන් දැරීමෙන් කය සැරසීමෙන් ද විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීමෙන් ද වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙයි. උසස් ආසන ද මහා ආසන ද පරිහරණයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙයි.

නිරතුරු පංචසීලයේ පිහිටි සිල්වත් උපාසක උපාසිකාවන් පොහෝ දිනයට (හැකි නම් සතර පොහොයට ම) අංග අටකින් වූ උතුම් උපෝසථ සීලය සමාදන් ව අරුණ දෙකක කාල පරාසය තුළ වූ සම්පූර්ණ දිනක් ඒ උතුම් සීලය ගෞරවයෙන් සුරකියි. එමෙන් ම එම උතුම් උපෝසථ සීලය තුළ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය, චාගානුස්සතිය ආදී කුසල් සහගත සිතිවිලි පැවැත්විය යුතු බව භාග්‍යවතුන් වහන්සේ එම දේශනාවේ ම පෙන්වා දී තිබෙනවා. මෙසේ ආර්ය උපෝසථය සමාදන් වන ශ්‍රාවකයා ඉහළ මග ඵල නොලැබුවේ වුව ද දෙවියන් අතර උපදින බව එම දේශනාවේ තවදුරටත් විස්තර වනවා.

තවත් අවස්ථාවක වාසෙට්ඨ නම් තරුණයෙකු හට භාග්‍යතුන් වහන්සේ උපෝසථ සීලයේ වටිනාකම මෙසේ පෙන්වා දී තිබෙනවා.

“පින්වත් වාසෙට්ඨ, සියලු ක්ෂත්‍රිය වංශිකයන්, සියලු බ්‍රාහ්මණයන්, සියලු වෛශ්‍යයන්, සියලු ශුද්‍රයන් මේ අෂ්ටාංග උපෝසථ සීලය සුරකින්නේ නම් එය ඔවුන් සියලු දෙනා හට ම බොහෝ කලක් හිතසුව පිණිස පවතින්නේ ය. පින්වත් වාසෙට්ඨ, දෙවියන්, මරුන්, බඹුන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු සියලු ලෝකයා මේ අෂ්ටාංග උපෝසථ සීලය සුරකිත් නම් එය ඔවුන්ට බොහෝ කලක් හිතසුව පිණිස පවතින්නේ ය.”

ඒ මොහොතේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ අසල වූ මහා සාල වෘක්ෂ දෙක පෙන්වා, “පින්වත් වාසෙට්ඨ, මේ මහා සාල වෘක්ෂයන්ට උපෝසථය සුරැකිය හැකි නම් මේ සාල වෘක්ෂයන්ට ද එය බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ය. මිනිසුන් උපෝසථය සුරැකීමෙන් සිදුවන යහපත ගැන කවර කතා ද?” යනුවෙන් වදාළා.

එමෙන් ම උපෝසථ සිල් සුරකින වාසනාවන්ත ශ්‍රාවකයාගේ යහපත කෙබඳු ආනිසංසයෙන් පරම කොට ඇත්තේ ද යන වග පෙන්වා දෙන තවත් දේශනාවක් අංගුත්තර නිකාය පොත් වහන්සේ තුළ වනවා.

“මහණෙනි, මෙය කලින් සිදු වූ දෙයක්. ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසාවැසි දෙව්ලොව දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවේ මේ ගාථාව පැවසුවා.

‘යම් මනුෂ්‍යයෙක් මා බඳු වෙනවා නම්, ඔහු කළ යුත්තේ අඩමාසයේ, තුදුස්වක, පසළොස්වක, අටවක, පාටිහාරිය කාලයෙත් අෂ්ටාංග උපෝසථ පෙහෙවස් සමාදන්ව විසීමයි.’

මහණෙනි, සක්දෙව් රජ විසින් ඒ ගාථාව වැරදියටයි ගායනා කළේ. නිවැරදිව ගැයුවේ නෑ. වැරදියටයි කිව්වේ. නිවැරදිව කිව්වේ නෑ. එයට හේතුව කුමක්ද? මහණෙනි. සක්දෙව් රජ රාගය ප්‍රහාණය කරලා නෑ. ද්වේශය ප්‍රහාණය කරලා නෑ. මෝහය ප්‍රහාණය කරලා නෑ.

මහණෙනි, යම් ඒ භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් ක්ෂය කරලා. නිවන් මග සම්පූර්ණ කරලා. කළ යුත්ත කරලා. කෙලෙස් බර බැහැරින් තියලා. පිළිවෙලින් උතුම් නිවනට පැමිණිලා. භව බන්ධන ක්ෂය කරලා. මනා වූ අවබෝධයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ඉන්නේ. මහණෙනි, අන්න ඒ භික්ෂුව විසින් නම් ඔය කාරණය කියන්න සුදුසුයි. ”

(අංගුත්තර නිකාය – තික නිපාතය)

මෙසේ මහත් ආනිශංස සලසාදෙන, කලාතුරකින් ලොව පහළ වන බුදු සසුනක් තුළ සුරැකීමට ලැබෙන, බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලාගේ අපමණ පැසසුම් ලද, නිවන් අවබෝධයට ඍජුව උපකාර කරන්නා වූ උතුම් උපෝසථ සීලය සුරැකීමට සියල්ලන්ගේ ම සිත් නැඹුරු වේවා! ඒ උතුම් සීලය මත පිහිටා ගුණධර්ම දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නට වාසනාව ලබත්වා…!

– මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි

LEAVE A REPLY