යම්තමින් වැටුණු ඉර එළිය කඳු මුදුන් තඹයකට ගණන් නොගෙන ගම්මානය පුරා ඉතිර – පැතිර යන්නට ඒ හැටි වේලාවක් ගියේ නැත. ගම්මානයේ සෙසු ගෙපැලවලින් තරමක් හුදෙකලාව පිහිටි මේ ගොවි ගෙදර ද නැවුම් හිරු එළියෙන් නෑවී ගියේ තවත් දවසක් උදාව ඇති බව නිවැසියන්ට ඉඟි කරන්නට මෙනි. රතු පැහැ මැටියෙන් කපරාරු කෙරුණු මේ කටුමැටි ගෙදරින් හැම පාන්දරකම නැඟී ආවේ පුංචි කෙල්ලන් දෙදෙනකුගේ නෝක්කාඩු හා කිචි බිචිය.

“නජාත්, ඉක්මන් කරන්න පොඩ්ඩී, මේ අක්කා එක්ක ගිහින් පහළ ළිඳෙන් වතුර අරන් එන්න.. කෝ… නැඟිටින්න..”
“අනේ අම්මා තව ටිකක් ඉන්නකෝ.”

“එහෙම කොහොමද අර සත්තු ටික හාමත් වෙයි. හා හා ඉක්මනට”

පුංචි නජාත්ට පැවරී තිබුණු රාජකාරි අතරින් අෑ අකැමැතිම කටයුත්ත වූයේ සිය අක්කණ්ඩිය ෆතීහා සමඟ දිය ගෙන එන්නට වත්ත පහළට යෑමය. මොරොක්කෝවේ කඳුකර රිෆ් පළාතේ සෑම ගම්මානයකම මෙන්ම නජාත් ජීවත් වූ නයි චයිකර් ගම්මානයේද ගෙවල්වල ළිඳ පිහිටා තිබුණේ නිවෙසින් තරමක් අෑතට වන්නටය. එබැවින් දවසේ වැඩ කටයුතුවලට අවැසි ජලය සපයා ගැනීම උදය වරුවේ කළ යුතු වැඩ කටයුතු අතර මුල් තැනක් ගත්තේය. තරමක් අප්‍රසන්න මේ කාරිය බොහෝ විට පැවරුණේ ඒ ගෙවල්වල විසූ පැංචන් සහ පැංචියන් මතය.

එහෙත් අනෙක් කාරිය එළුවන් බලා ගැනීම පුංචි නජාත් බෙහෙවින් ඇලුම් කළ කාරියක් විය. එයට හේතුව වූයේ මේ හෝරා කීපයේදී කන්දේත් – ලන්දේත් දුව පනින්නට ඇයට ඕනෑ තරම් ඉඩකඩ ලැබුණු බැවිනි.
එළුවන් තණ කැවීම සඳහා ඇය කඳුකර තණබිම්වලට ගියේ සිය මුත්තණුවන් සමඟය. සීයාගේ එළු රංචුව මේච්චල් කරන්නට ගිය අතරවාරයේ ඕ කොලු -කෙළි නඩය හා එක්ව සෙල්ලම් කරන්නටද ඉඩකඩ සොයා ගත්තාය. එහෙත් එක්තරා නොවිසඳ ගත හැකි ගැටලුවකින් මේ හැම දිනකම වාගේ ඇය කනගාටුවට පත් වූවාය. පුංචි නඩයේ පැංචනුත් පැංචියනුත් බොහෝ විට දෙඩවූයේ සිය තාත්තාගේ හපන්කම් ගැනමය. එහෙත් පුංචි නජාත්ට කිසිවක් කියන්නට නුපුළුවන් වූයේ ඇය කිසි දිනෙක සිය පියා දැක නොතිබූ නිසාය. ඒ හැම දිනකම පාහේ ඇය ආපසු සිය ගෙපැලට දිව ආවේ නෝක්කාඩුවක්ද සමඟිනි.

“අම්මා….. මගේ තාත්තා කොහෙද? එයා කොහෙද ගිහින් තියෙන්නේ? එයා මොනවද කරන්නේවත් කියලා එවන්නෙ නැත්තේ ඇයි?”

නජාත්ගේ මව හැමදාමත් වාගේ දුන්නේ එකම උත්තරය.

“තාත්තා අෑත රටක රස්සාවක. තාත්තා ආයෙ මෙහේ එන එකක් නැහැ. ඒත් අපි තාත්තා ඉන්න දිහාවට යන්නයි ඉන්නේ.”

නජාත්ගේ මව පැවැසුවේ මුසාවක් නොවේ. එළු ගාල තම පවුල නඩත්තු කරන්නට ප්‍රමාණවත් නොවන බවක් කල්පනා කළ ඇගේ පියා අහමඩ් උතුරු ප්‍රංශයේ ටවුමක් වූ ඇබේවිල් වෙත ගොස් තිබුණේ රැකියාවක් සොයා ගන්නට ය. ඒ නජාත් මවු කුසයට පැමිණ සිටි මුල් සන්දියේ දී විය. එබැවින් පුංචි නජාත් තාත්තා ගැන හාංකවිසියක් නොදැන සිටියේය. බහතෝරන වයසේ සිට වසරින් වසර ඕ සුරඟන කතාවක් අසන්නාක් මෙන් තාත්තා ගැන අම්මා කී කතාව අසන්නට පුරුදුව සිටියාය. කවදා හෝ ඒ හීනය එළිවනු ඇතැයි කල්පනා කළාය.

ඒ සිහිනය සැබෑ වන දවසක් උදාවිය. ඒ වන විය ඇය හතරවැනි උපන්දිනය සමරා සිටියාය. අවුරුදු හතරක මහන්සියකින් පසුව නජාත්ගේ පියා අහමඩ් ස්ථීර රැකියාවක් සොයා ගන්නට සමත්ව තිබිණි. ඒ ප්‍රංශ මොටෝ රථ නිෂ්පාදන සමාගමක් වන රෙනෝල්ට් කොම්පැනියේ ස්ථීර කම්කරුවකු වශයෙනි. රැකියාව ලැබුණු වහාම අහමඩ් කළේ සිය බිරියත් දියණියත් දෙදෙනාත් එහි ගෙන්වා ගැනීමය. අන්තයේදී නජාත්ගේ සිහිනය ඉටුවූයේ එලෙසිනි.

නජාත් හා සිය සොහොයුරිය සැතපුම් දහස් ගණනක් ගෙවා පැමිණි මේ නව නිවහන පිහිටියේ පැරිස් නුවරින් දකුණට වන්නට සැතපුම් අසූවක් පමණ එපිටිනි. මුල් දවස් කීපය ඔවුන් එහි ගත කළේ වෙනත් ලොවකින් කඩාපාත්වූවන් මෙනි. ප්‍රංශයේ සංස්කෘතිය, සමාජය ගැන හඳුනා ගැනීම කෙසේ වෙතත් අඩුම තරමේ එක් ප්‍රංශ වචනයක් හෝ කතා කරන්නට නජාත් හෝ ඇගේ සොහොයුරිය ෆතීහා හෝ දැන සිටියේ නැත. තමන්ට හුරු පුරුදුව තිබුණු වටපිටාවට හාත් පසින්ම වෙනස් හා කලබලකාරී මේ සමාජයට හුරු පුරුදුවීමට ඔවුන්ට ඒ හැටි පහසු කටයුත්තක් වූයේ නැත.

ඇගේ එකම අරමුණ එවක් පටන් වූයේ ප්‍රංශ බස ලියන්නට කියවන්නට හුරු වීමයි. නජාත්්ගේ පියා අවැසි පතපොත මෙන්ම අධ්‍යාපනයට අවැසි සියලු දේද සපයා දෙනන්ට සමත් වූයේ වෙහෙස මහන්සිය නොතකායි. එහෙත් වැඩිහිටි වයසට පත් වන තුරු රාත්‍රි සමාජ ශාලාවලට යන්නට හෝ කොල්ලන් ආශ්‍රය කරන්නට හෝ පියාගෙන් අවසර ලැබුණේ නැත. එමෙන්ම ඔවුන්ද එබඳු දේ ගැන සිය පියා සමඟ වාද කරන්නටද ගියේ නැත..

අකුරු කිරීම අකුරක් නෑර නිවැරැදිව කළ බැවින් අහමඩ් ඔවුන් වෙනුවෙන් වැය කළ එක ෆ්‍රැන්කුවක්වත් අපතේ ගියේ නැත. මේ වන විට නජාත් උත්සාහ කරමින් සිටියේ කීර්තිමත් ඉජඪඥදජඥ ර්ථීධ ආයතනයට (Institute tudes Politiques de parris) ඇතුළු වන්නටය. එහෙත් එක්තරා ගුරුවරියක් ඇය අධෛර්යවත් කරන්නට උත්සාහ කළාය.

“නජාත් ඔයා ඕවට ඇප්ලයි කරලා වැඩක් නැහැ. ඔය වැඩේ ඔයාට කරනවා තියා හිතන්නවත් පුළුවන් එක්ක නෙවෙයි. ඒ නිසා ඒක අතහැරලා දාන්න.”

එහෙත් උත්සාහය අත්හලේ ඇය නොවේ. කෙසේ හෝ පිවිසුම් විභාගයට වාඩි වූ ඇය එම කඩඉම ජයගන්නට සමත් වූවාය. සැබෑ අභියෝගය මතු වූයේ ඉන් අනතුරුවය.

“අම්මා මං දන්නවා මං කරන වැඩේ වැරැදියි කියලා. තාත්තාත් ඔයත් අපි වෙනුවෙන් කොච්චර මහන්සි වුණාද? ඒත් මේ ගමන දිගටම යන්න මං ආසයි. අනේ මන්දා”

මේ වන විට තවත් සහෝදර සහෝදරියන් පස් දෙනකු ඇගේ පවුලට එක්ව සිටි අතර තවදුරටත් මවුපියන්ගේ මුදල් තම අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරවීම ගැන අෑ දිගින් දිගටම ළතවන්නට පටන් ගත්තාය. පුංචි රස්සාවක් ඇත්තටම පැවසුවහොත් රැකියා දෙකක් කරමින් ඉගෙන ගැනීමේ කටයුතුවලට මුදල් හදල් සපයා ගත් ඇය ඒ අතරවාරයේ ඉහළ උපාධියද අවසන් කරන්නට සමත්ව සිටියාය. එපමණක් නොව ඇගේ ජීවන සහකරු බොරිස් ඇයට හමුවූයේ ද මේ කාලයේදීය. මවුපිය අවසරය ඇතිව යුග දිවියට එක්වූ නජාත්-බොරිස් යුවළ එයින් පසුදා දිගින් දිගටම අධ්‍යාපන කටයුතුවලට මුල් තැනක් දෙන්නට කල්පනා කළෝය.

තනිකරම සුදු ජාතිකයන්ගේ බූදලයක් ලෙස සැලකුණු ප්‍රංශ දේශපාලනයට ඇස යොමන්නට නජාත් කල්පනා කළේ කවර හේතුවක් නිසාදැයි කියන්නට ඇගේ මව පියා හෝ ස්වාමිපුරුෂයා පවා නොදැන සිටියේය. එහෙත් එදා ඒ තීරණයත් සමඟ ඇය අද ඉන්නා තැන දක්වා කතාව මුළු ලෝකයටම අමුත්තක් නොවේ.

සමාජවාදී පක්ෂය හා එක්ව වසර කිහිපයක් ගතවන්නට මත්තෙන් එහි උපදේශිකාව බවට පත්වන්නටද නජාත්ට හැකිවිය. 2012 වසරේදී රජයේ ප්‍රකාශක බවට පත්වූ ඇය කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ඇමැතිවරිය ලෙසද කටයුතු කළාය. තවත් දෙවසරකට පසු ඊට අමතරව නාගරික කටයුතු, තරුණ කටයුතු හා ක්‍රීඩා යන විෂයන්ද ඇගේ ඇමැති ධුරයට එක් කරන ලද්දේ අෑ තුළ වූ මහත් හැකියාවන් පාලක සමාජවාදී පක්ෂය ඉතා ඉහළින් විශ්වාස කළ බැවිනි. 2017 වර්ෂයේදී ඇය ලෝකයේ සියලු පුවත්පත්වල සිරස්තල සිය නමින් සරසන්නට සමත් වූයේ එරට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා පර්යේෂණ පිළිබඳ ඇමැතිවරිය බවට පත්වෙමිනි.

හතළිස් දෙහැවිරිදි වයසේ පසුවන නජාත් වොලෝද් බෙල්කහෙම්ට අද දවසේ මීට තිස් අට වසරකට පෙර කඳුකර මොරොක්කෝ ගම්මානයේ දුව පැන ඇවිද ගිය ඒ අතීතය සිහි නොවන්නේ යැයි අපට සිතන්නට නුපුළුවන. සැබවින්ම එය ඇයට සිහිනයක් බඳු වන්නට ඇත. ඇගේ සිහිනය එතරම්ම සුන්දර බව ඇත්තකි. එහෙත් මේ සිහිනය අද ලොවටම ධෛර්යයේ හා වාසනාවේ පාඩම කියා දෙන කතාන්දරයකි. ක්‍රිස්ටීන් මේසන් මිලර් වරක් කී පරිදි අප අපේ අනාගතය දෙස බැලිය යුතු ආකාරය කියා දෙන පාඩමකි.

“ඒබ චදර ඨඪමඥද ථධථඥදබ ඪද තඪටඥ, රධභ ඩචමඥ නධඹඥප බධ ඵචර: ” ඊඩඪඵ ඪඵ දධබ ඩධඹ බඩඥ ඵබධපර ඪඵ ඨධඪදඨ බධ ඥදඤ” ක්‍රිස්ටින් මිලර් පැවැසුවාය.
කොයි මොහොතේද කියන්න දන්නේ නැති නමුත් ඔබේ ජීවිත කතාවේ කෙළවර සැලසුම් කරන්නට ඔබට අවස්ථාවක් හිමිවන බව නියතය.”

ඒ අපූරු මොහොත අල්ලා ගැනීම වාසනාවේද ධෛර්යයේද එකමුතුවෙන් කළ යුත්තකි. නජාත්ගේ කතාන්දරය අපට කියන්නේ එයයි.

පාලිත ජයකොඩි

LEAVE A REPLY