ඩුබායි රාජ්‍යයේදී කුප්‍රකට පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ගායන ශිල්පී අමල් පෙරේරාගේ සහ රංගන ශිල්පී රයන් වැන්ඩර්ස්ට්‍රෝයිගෙ නිවාස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (7දා) දැඩි පරීක්‍ෂාවකට ලක් කර ඇති අතර, එම නිවෙස්වල තිබූ සැකසහිත දෑ සම්බන්ධයෙන් ඔවුන්ගේ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ නියෝග මත ගායන ශිල්පී අමල්ගේ මහරගම පිහිටි නිවෙසක් සහ ප්‍රසිද්ධ නළුවකු වන රයන්ගේ අත්තිඩියේ පිහිටි නිවෙස එම බළකා නිලධාරීන් විසින් මෙලෙස පරීක්‍ෂාවට ලක්කර ඇත.

එහිදී අමල් පෙරේරාගේ නිවෙසින් හිස් කොකේන් කොපු දෙකක් සහ රයන්ගේ නිවෙසින් ඩිජිටල් තරාදි දෙකක් සහ කුහර සහිත බෑගයක් සොයා ගෙන තිබේ.

මීට අදාළව ඔවුන් දෙදෙනාගේ සොහොයුරන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එසේම ඩුබායි රාජ්‍යයේ තරු හයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් කුප්‍රකට පාතාල නායකයකු වන ‘මාකඳුරේ මධුෂ්’ සමඟ අත්අඩංගුවට ගත් 25 දෙනා අතර සිටි රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තා රාජ්‍ය තාන්ත්‍රිකයකු නොව පිටස්තර තැනැත්තකු බවට දැනට එරටින් ලැබී ඇති තොරතුරුවලට අනුව සඳහන් වන බව මෙරට ආරක්‍ෂක අංශ කියා සිටී.

පිටස්තර පුද්ගලයකුට මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමිවූයේ කෙසේද යන්න පිළිබඳ සැක මතු වන බව ආරක්‍ෂක අංශ ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

කෙසේ වෙතත් මාකඳුරේ මධුෂ් ප්‍රමුඛ පිරිස අත්අඩංගුවට ගෙන ඊයේ (07දා) වන විට දින තුනක් ගත වුවද මීට අදාළ නිල දැනුම්දීමක් ලක් රජය වෙත එරටින් සිදුකර නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි.

තවදුරටත් මෙම පිරිස් මෙරටට රැගෙන ඒමට අදාළ සාකච්ඡා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සිදු කරගෙන යන බවද ආරක්‍ෂක අංශ ප්‍රධානියෙක් ‘මව්බිම’ට පැවැසීය.

ඩුබායි රහස් පොලිසිය විසින් ඉකුත් 04 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු කණ්ඩායම ඉදිරි විමර්ශන සඳහා මේ වන විට ඩුබායිහි අල් රෆා පොලිසිය වෙත භාරදී ඇති බවද වාර්තාවේ.

මෙම පිරිස විස මත්ද්‍රව්‍ය පානය කළේද යන්න සොයා බැලීම සඳහා ගනු ලැබූ රුධිර සාම්පල් පරීක්‍ෂණයේ වාර්තාව ලැබෙන තෙක් ඔවුන් පොලිසියේ රඳවා තබන බවද සඳහන් වේ.

මෙම 25 දෙනා අතර සිටි බව පැවැසෙන පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා කවුරුන්දැයි යන්න පිළිබඳ කසුකුසුවක් එම දෙපාර්තමේන්තු තුළ හට ගෙන ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY