අද්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් සඳහා ‘යොවුන් දහම් සක්මන’ වැඩසටහන එළැඹෙන 10 වැනිදා ඉරිදා සවස 1.00 සිට 6.00 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙවර එය පැවැත්වෙනුයේ සිවු වැනි වරටය. ‘මව්බිම’ පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මෙහෙයවන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේය. මේ එම වැඩසටහන පිළිබඳව ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි හිමි සමඟ කළ සාකච්ඡාවකි.

තරුණ පිරිස ඉලක්ක කරගනිමින් මෙවැනි වැඩසටහනක් ගෙන එන්න මූලික වූ කාරණාව කුමක්ද?

වර්තමානයේ බොහෝ තරුණ පිරිස් විවිධ දුරාචාර, පුහු ආටෝප පසුපස හඹා යන්නේ ඔවුන්ට නිසි කාලයේදී ලැබිය යුතු යහපත් ඔවදන් සහ යහපත් ආදර්ශ නොලැබෙන නිසයි. ඔවුන් තම ජීවිත ඉදිරියට ගෙන යන්නේ සුවිශාල අභියෝග ගණනාවක් මධ්‍යයේයි. ඒ අභියෝග අතරේ හොඳ නරක මොකක්ද? කළ යුත්තේ නොකළ යුත්තේ මොකක්ද කියලා තේරුම් අරගෙන ජීවත්වීම ප්‍රධාන කරුණක්. විශේෂයෙන්ම පාසල් යන වයසේ සිටම තරුණ ජීවිත විනාශ කරන බොහොමයක් දේ අද වන විටත් අප රට තුළ සක්‍රියව ක්‍රියාත්මකයි. තරුණ ජීවිත යහමඟට ගැනීමට හරිමඟ පෙන්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

පෙබරවාරි 14 වැලන්ටයින් දිනය ඉලක්ක කරමින් මෙය පවත්වන්න විශේෂ හේතුවක් තියෙනවද?

2016 වසරේ ප්‍රථම වැඩසටහන අපි හරියටම පැවැත්වූවේ පෙබරවාරි 14. මහමෙව්නා භාවනා අසපු සංචිතයේත්, ශ්‍රද්ධා රූපවාහිනියේත්, ලක්විරු ගුවන්විදුලියේත් සංවිධානයෙන් ආරම්භ කළ එම වැඩසටහන අති සාර්ථක වුණා. 2017 පෙබරවාරි 19 පන්දහසකට ආසන්න තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් දෙවැනි වැඩසටහන නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. 2018 පෙබරවාරි 13 හයදහසකට අධික තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් යොවුන් දහම් සක්මන පැවැත්වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී වැලන්ටයින් දිනයම ඉලක්ක කරමින් මෙය පවත්වන්නේ එම දිනය තරුණ ජීවිත විනාශ කරන දවසක් නිසයි. වැලන්ටයින් දිනය නමින් තරුණ ප්‍රජාව අතර ප්‍රචලිතව පවතින දිනයේ ආරම්භය සිදු වූ ආකාරය, එහි නිසරු බව, වාණිජ අරමුණු මත ක්‍රියාත්මක එවැනි ව්‍යාපාර නිසා තරුණ ජීවිත විනාශ වන ආකාරය වශයෙන් මෙලොව පරලොව දෙලොවටම වටිනා ඔවදන් රැසක් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් තරුණ පිරිසට පහදා දෙනවා.

තාක්ෂණික මෙවලම් භාවිතයේ ඇති බලපෑම්

පිළිබඳව කතා කිරීමත් මෙම වැඩසටහනට ඇතුළත්.
එය කතාබහ කළ යුතුම කාරණාවක්. තාක්ෂණික භාවිතව අද වෙද්දී මිනිසා ගිලගෙන අවසන්.

ජංගම දුරකථන, පරිගණක යන්ත්‍රය කඩිනමින් හසුරුවන දරුවන් දකින මවුපියන් හිතන්නේ තමන්ගේ දරුවා හරිම දක්ෂයෙක් කියලා. හැමදේටම කලින් දරුවාගේ අතට දෙන්නේ ජංගම දුරකථනය. අද වෙද්දී එහි නැති දෙයක් නෑ. ජංගම දුරකථනයට ඇබ්බැහි වීම හරියට මත් පෙතිවලට ඇබ්බැහි වුණා වගේ තමයි. ඉස්සර පවුලේ කට්ටිය රාත්‍රියේ කෑම මේසයට වාඩි වෙලා එදා දවසේ සිදු වූ දේ පිළිබඳව රසවත් කතාබහක යෙදුණා. අද හතර දෙනෙක් කෑම මේසයට වාඩි වුණත් තුන් දෙනෙක් අතේම ජංගම දුරකථන. තමන් ගැන අනෙක් අය මොකද කියලා තියෙන්නේ, තමන්ගේ ඡායාරූපයට ලයික් එකක් දාලාද? අරයාගේ කමෙන්ට් එක මොකක්ද? මේ විදියට ආයෙ ආයේ තමන් ගැන හොයනවා. තරුණ පිරිස විවාහයට පෙරම දුරකථන සමඟ විවාහ වෙලා ඉවරයි. පවුල් ජීවිත මේ තරම් අසාර්ථක වෙන්න මේක ප්‍රබලම හේතුවක්. මේ කරුණු කාරණා පිළිබඳව තරුණ පිරිස දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. යොවුන් දහම් සක්මනට ඇතුළත් සෙසු කතාබහ පිළිබඳවත් පැහැදිලි කරමු.

ධර්ම දේශනා දෙකක් මෙහිදී පැවැත්වෙනවා. එක ධර්ම දේශනාවක් පවත්වන්නේ මහමෙව්නා භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ගුවන් විදුලියේත් නිර්මාතෘ ප්‍රධාන අනුශාසක පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ. අනෙක් ධර්ම දේශනාව පවත්වන්නේ වැලිමඩ සද්ධාසීල හිමි. මානව හැකියා සංවර්ධන විශේෂඥ

පුහුණු උපදේශක සනත් ගමගේ මහතාගේ වැඩසටහනකුත් මීට ඇතුළත්. භාවනාව වඩන්නේ කෙසේද යන්න පිළිබඳව කියා දෙනවා වගේම ධර්ම සාකච්ඡාවකුත් පැවැත්වෙනවා. මත්ද්‍රව්‍ය උවදුරින් ගැලවෙන ආකාරය, සමලිංගික ඇසුරින් මිදීම වගේම හොඳ සහකරුවකු තෝරා ගැනීම පිළිබඳවත් තරුණ පිරිස දැනුවත් කරනවා. මෛත්‍රි ගුණය දියුණු කරගන්නා අයුරු සඳහන් පොත් පිංචක් වගේම දහම් කරුණු ඇතුළත් පත්‍රිකාත් අපි ලබා දෙනවා.

මෙතෙක් පැවැති වැඩසටහන් ත්‍රිත්වය පිළිබඳව තරුණ පිරිසේ ප්‍රතිචාර මොන වගේද?

ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබුණා. වැඩසටහනට සහභාගි වීමෙන් පසු තමන්ගේ ජීවිතයට ලැබුණු ආලෝකය පිළිබඳව බොහෝ පිරිස අපි සමඟ කතා කළා. මෙවරත් අපි හයදහසකට වැඩි තරුණ පිරිසක් බලාපොරොත්තු වෙනවා. කලින් වැඩසටහන්වලට ආ දරුවන්ට අපි කියන්නේ මෙවර එද්දී තමන්ගේ තවත් යහළුවකුත් කතා කරගෙන එන්න කියලයි. මවුපියනුත් තම දරුවන් මෙවැනි දේට සම්බන්ධ කරවන්න උනන්දු කළ යුතුයි. බොහෝ මවුපියනුත් අපේ මේ වැඩසටහන සමඟ සම්බන්ධ වෙනවා. නමුත් අපි ඇතුළට ගන්නේ අවුරුදු 17- 35 අතර පිරිස පමණයි. අනෙක් අයට වෙනමම ස්ථානයක් සූදානම් කර තියෙනවා අදාළ ධර්ම දේශනා ඇසීම සඳහා.
දුර බැහැර ප්‍රදේශවල සිට එන පිරිසට සලසා ඇති පහසුකම් ගැන කතා කළොත්?

ලංකාවේ හැම ප්‍රදේශයකින්ම තරුණ පිරිස මේ සඳහා එනවා. එසේ පැමිණෙන හැම කෙනකුටම අපි කෙටි ආහාර පාන, දන්සල් සංවිධානය කොට තිබෙනවා. මේ වෙද්දී මහමෙව්නා අසපු 50කට වැඩිය රට පුරා තියෙනවා. එහි සිටින හැම අයකුගේම සහායෙන් තමයි මේ සියල්ල ක්‍රියාත්මක කෙරෙන්නේ. තරුණ ඔබේ ගැටලුවලට ඒ මොහොතේම ධර්මානුකූල පිළිතුරු ලබාගැනීමට අවස්ථාව ලැබීමත් විශේෂත්වයක්.

ශ්‍රද්ධා ටී.වී. ඇප් එකක් හා වෙබ් අඩවි 3ක් ජනගත කිරීමත් මෙදින සිදුවෙනවා. ඒ වගේම ශ්‍රද්ධා එකෙන් කළ පළමු චිත්‍රපටයේ එළිදැක්වීමක් සිදුවෙනවා. වකුගඩු රෝගය වැළැක්වීමට අපි කළ යුත්තේ කුමක්ද යන තේමාව ඔස්සේ මෙම චිත්‍රපටය දිගහැරෙනවා. කිසිදු වාණිජමය අරමුණකින් නෙවෙයි මේ චිත්‍රපටය අපි ඉදිරියේ තිරගත කරන්නේ. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය ආරම්භ කළෙත් ඒ වෙනුවෙන්මයි. දූෂිත ජලය පරිහරණයෙන් වකුගඩු රෝගය වැලඳෙන පළාත්වල ජල පිරිපහදු කිරීමේ ඒකක සවි කළා. 2018 වර්ෂය අවසාන වන විට ජල පිරිපහදු මධ්‍යස්ථාන 34ක් හැදුවා. දිස්ත්‍රික්ක 7ක වාසය කරන දස දහස් සංඛ්‍යාත ජනතාවක් වකුගඩු රෝගයෙන් මුදාගන්න පිරිසුදු පානීය ජලය ලීටර් කෝටි 4.5කට ආසන්න ප්‍රමාණයක් දන්දීමට පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියට හැකි වුණා. චිත්‍රපටය තුළිනුත් අපි ඒ සමාජ සත්කාරයම කරනවා.

LEAVE A REPLY