ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමති, රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති තනතුරු සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විපක්ෂයේ විරෝධය නොතකා ආණ්ඩුවේ පමණක් එකඟතාවය අනුව තීරණය කර ඇති බවත් එය පරාජය කිරීම සඳහා සියළු දෙනා පෙළ ගැසිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන අනුර දිසානායක මහතා… “පස්වරු 2.30ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීම පැවැත්වුනා. එහිදී සියළු පක්ෂ විරුද්ධ වෙද්දී ආණ්ඩු පක්ෂයේ පමණක් එකඟතාවයෙන් ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ යළි යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිල් හොයමින් මහජනයාගේ ධනය නාස්ති කරන්න, මහජනයාගේ ධනය හොරකම් කරන්න, මහජනයාගේ ධනයෙන් වරදාන විඳින්න අමාත්‍ය ධුර වැඩිකර ගැනීම සඳහා හෙට දිනයේ මෙම යෝජනාව පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කිරීමට තිබෙනවා.

අමාත්‍යවරු සංඛ්‍යාව 30 සිටි 48 දක්වා අමාත්‍ය ධුර 18කිනුත් ඒ වගේම නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය වරු සංඛ්‍යාව 40 සිට 45 දක්වා පස් දෙනෙකුගෙන් වැඩිකිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබෙනවා. මෙම ජාතික ආණ්ඩුවට ඉදිරිපත් වෙන පක්ෂ කවරේද කියලා අහපුවාම එක පක්ෂයයි මුස්ලිම් කොන්ග්‍රසයයි. හැබැයි මුස්ලිම් කොන්ග්‍රසය මේ වනවිටත් ආණ්ඩුව නියෝජනය කරමින් ඉන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ හිල් හොයමින් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකරගැනීම සඳහා දරන මේ ප්‍රයත්නය පරාජයට පත් කළ යුතුයි.

ජාතික ආණ්ඩුව යැයි තමන්ගේ ඔළුවේ මනස්ගාතයක් හදාගෙන තමන්ගේ සුරතලුන්ට රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම්කරන්න, නාස්තිකරන්න මහජනයාගේ ධනයෙන් වරදාන විඳින්න මේ ලබා දෙන අමාත්‍ය ධුර වැඩි කර ගැනීමේ යෝජනාව මේ රටේ ජනතාව විසින් පරාජයට පත් කළ යුතුව තිබෙනවා.

ඒ වගේම ජනාධිපතිවරයාටත් මේ නිශ්චිත මොහොතේ ඉතා විශේෂ වගකීමක් තිබෙනවා. ඔහු අතින් තමයි මෙම අමාත්‍ය ධුර ලබාදිය යුතු වන්නේ. ඒ නිසා මේ අත්තනෝමතික, හිකුවක්කාරී රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ හිල් හොයමින් මේ දරණ ප්‍රයත්නයට ජනාධිපතිවරයා ඉඩ කඩ ලබා නොදියයුතුයි කියන යෝජනාව අපේ තිබෙනවා.

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මේ විගඩම්කාරී ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්කිරීම සඳහා මේ රටේ ව්‍යවස්ථාවට ගරු කරන මේ රටේ මහජනයාගේ දේපළ හොරකම් කරන නාස්ති කරන ව්‍යාපෘතිවලට එකඟ නොවන හැම කෙනෙක්ම එකතුවිය යුතුයි කියන එක තමයි අපගේ යෝජනාව වන්නේ.”

LEAVE A REPLY