ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඇද වැටීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන මුත්තයියා මුරලිදරන් හා මාවන් අතපත්තු දැඩි ලෙස කනගාටුව පළකර ඇති අතර, ඒ අතුරින් විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වා ඇති මුත්තයියා මුරලිදරන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයන් සතුව විශිෂ්ට ගණයේ දක්ෂතා පැවැතියද ඔවුන්ට එම දක්ෂතා නොකඩවා පවත්වාගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ මුහුණදී තිබෙන කනගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයක් සමඟ අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමුගැනීමෙන් අනතුරුව රංගන හේරත් ද තම ක්‍රිකට් දිවියට සමුදීම මඟින් මෙම තත්ත්වය වඩාත් තීව්‍ර වූ බව පවසන මුරලිදරන් “වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම සතුව කුසල් මෙන්ඩිස් වැනි ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා. නමුත් ඔවුන්ට එම දක්ෂතා නොකඩවා පවත්වාගෙන යෑමේ ගැටලුවක් තිබෙන බව මගේ අදහසයි. එයින් එම ක්‍රීඩකයන්ගේ පිතිකරණයට විශාල පීඩනයක් එල්ල වනවා.

පසුගිය වසර 3ක 4ක කාලය මුළුල්ලේම සිදු වූයේ එයයි. එහි කිසිදු වෙනසක් හෝ දියුණුවක් මේ වන තෙක් දැකිය නොහැකියි. විටින් විට නවක දක්ෂ ක්‍රීඩකයන් කණ්ඩායමට එක් වුවත් ජාත්‍යන්තරය තුළ ඔවුන්ගේ දක්ෂතා දැක්වීමේ හැකියාව අඩු බවක් දක්නට ලැබෙනවා. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වැනි විශිෂ්ටයන්ගේ සමුගැන්මත් සමඟින්ම රංගනගේ සමුගැනීමත් සිදුවීමෙන් එම පාඩුව තවත් වැඩි වුණා. එවැනි ක්‍රීඩකයන් කිහිපදෙනකු එක්වර ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් ඇතිවන හිඩැස පිරවීම ඕනෑම රටකට විශාල අභියෝගයක්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් පහත් මට්ටමකට ඇදවැටී ඇති බව මගේ මතයයි. පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාවේත් තත්ත්වය එයමයි” යනුවෙන් පවසා ඇත.

පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය සම්බන්ධයෙන්ද එහිදී අදහස් දක්වා ඇති මුරලිදරන් “ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දුර්වල ක්‍රීඩා රටාවක් තමයි ප්‍රදර්ශනය කළේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන ලද කාලයක් තමයි මේක. කෙසේ නමුත් ඕස්ට්‍රේලියාව මේ දිනවල දැක්වූ දුර්වල ක්‍රීඩා රටාවටත් වඩා දුර්වල ක්‍රීඩා රටාවක් ශ්‍රී ලංකාව පෙන්නුම් කළ බව මම සිතනවා. මෙම තත්වයේ සිටින කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක් ලබා ගනීවි යැයි මම සිතන්නේ නැහැ” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේදී අයහපත් කාල පසු කිරීමට සිදු වුවද වර්තමාන ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවී ඇති අඳුරු යුගය තුළ කිසිදු ආලෝකයක් තමන් නොදකින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයක් සමඟ අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු වන මාවන් අතපත්තු පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අතපත්තු “අවංකවම ක්‍රිකට් ක්‍රීඩාවේදී යම් අඳුරු යුගයන් සහ නරක කාලයන් පසු කිරීමට අපට සිදු වෙනවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මුහුණදී ඇති අඳුරු තත්ත්වය තුළ කිසිදු ආලෝකයක් මම දකින්නේ නැහැ.

මම එසේ කියන්නට හේතු කිහිපයක් තිබෙනවා. ක්‍රිකට් පරිපාලනය මෙම තත්ත්වයට වගකිවයුතු බව මගේ මතයයි. ඒ වගේම කණ්ඩායම තුළත් සැලසුම් සකස් කිරීමේ සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් මම දකිනවා. කණ්ඩායමක එක් එක් සාමාජිකයන්ට විවිධ මත, අදහස්, අරමුණු සහ සැලසුම් තිබිය හැකියි. නමුත් කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමේදී කණ්ඩායමේ අවශ්‍යතාවට මුල්තැන දෙමින් පොදු අරමුණක් සහ කණ්ඩායමට පොදු සැලැස්මක් යටතේ ක්‍රීඩා කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තක්. අද වැරදි යමක් සිදු කරමින් හෙට අප පරාජයට පත් වූයේ මෙම වරද නිසා ඉදිරියේදී එම වරද නිවැරදි කරගන්නවා යැයි පැවසීම සිදු නොකළ යුත්තක් බවයි මගේ හැඟීම. කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්, පුහුණු කාර්යමණ්ඩලය සහ පරිපාලකයන් එක්වී මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා වහ වහා කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා අනතුරුදායක තත්වයකට ඇදවැටීමට ඉඩ තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුවෙනවා වගේම අනාගත ක්‍රීඩකයන්ට පැහැදිලි මඟක් පෙන්වා දීම අනිවාර්යයෙන් සිදු විය යුත්තක්.

උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ලැබෙන සහයෝගය දෙස බලන්න. නවක ක්‍රීඩකයන් වන පියුකොව්ස්කි සහ පැටර්සන්ගෙන් පසුව කණ්ඩායමට එන ක්‍රීඩකයන් කවුද කියන එක ගැන ඔවුන්ට පැහැදිලි දැක්මක් සහ සැලැස්මක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවාම එවන් සැලසුම් සම්බන්ධයෙන් අප සිටින්නේ ඉතාමත් පහත් අඳුරු තත්ත්වයක බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි” යනුවෙන් පවසා ඇත.

LEAVE A REPLY