‘මහත්තයෝ මම පුදුම කරුමයක් ගෙවන්නේ. මගේ නෝනට පිළිකාවක් හැදිලා ටික කාලෙකට ඉස්සර මැරිලා ගියා. දැන් මටත් පිළිකාවක් හැදිලා. මේ පිළිකාව සුව කර ගන්නවා තබා වේලක් හැර වේලක් කන්නවත් වත්කමක් නෑ’ යැයි තමන්ට වැලඳී ඇති පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් දැඩි සේ අසරණව සිටින මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙක්
හැඬ­ූ­ කඳුළින් පැවැසීය.

කිසිවකුගේත් සැලකිල්ලට හෝ අවධානයට ලක් නොවීම හේතුවෙන් ජීවත්වීමේ දැඩි අරගලයකට මුහුණ පා සිටින ඔහු මීගහකිවුල කනපද්දැල්ලේ ඩී.එම්. කරුණාරත්න මහතාය.
කලකට පෙර සිය බිරිය ද පිළිකා රෝගයකට ලක්ව මියගොස් ඇති අතර දරුවන්ටද ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිකම නිසා ඔවුන්ටද තමුන්ට සැලකීමට තරම් වත්කමක් නැතැයි කරුණාරත්න මහතා පැවැසීය.

ඔහු මෙසේද කීවේය.
“මහත්තයෝ මම මේ බිත්ති හතරට කොටු වෙලා පුදුම දුකක් විඳින්නේ. මට දැන් පිළිකාවක් හැදිලා අවුරුදු ගාණක් වෙනවා. මීගහකිවුලෙන්, බදුල්ලෙන් වගේම මහරගම රෝහලෙනුත් බෙහෙත් කළා. කිසිම අඩුවක් නැහැ. මගේ නෝනත් මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා මේ රෝගයම හැදිලා මැරිලා ගියා.

මම තාමත් මේ ලෙඩේ නිසා මැරි මැරී උපදිනවා. මම හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ ලෙඩේ අමාරුව නිසා හැම වෙලාවෙම එක එක අමාරුකම් ඇඟට දැනෙනවා. අඩුම තරමේ මට වේලක් ඇර වේලක් කන්න කීයක් හරි හොයාගන්නවත් ඇඟට පණ නැහැ. නොකා නොබී ඉන්න වේල් ගාණ අනන්තයි.

මට සලකන්න කියල කෙනෙකුත් නැහැ. දරුවෝ හිටියට එයාලට ස්ථිර කියලා ආදායමක් නැහැ. අඩුම තරමින් මට සමෘද්ධියවත් ලැබෙන්නේ නැහැ. මොකද මගේ පොඩි පුතාට කාලෙකට ඉස්සර රජයේ පොඩි රස්සාවක් තිබුණා. ඒ හින්දා සමෘද්ධිය ලැබුණේ නැහැ. හැබැයි අම්මා ලෙඩ වුණාට පස්සේ අම්මට සලකන්න ඕනි නිසා එහෙ මෙහෙ යන්න ගිහිල්ලා එයාට රස්සාව අහිමි වුණා. එයත් හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ.

එහෙම එකේ එයා කොහොමද මට සලකන්නේ. මේ වටේ පිටේ කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි මොනවා හරි දුන්නොත් ඒක කාලා බීලා වැටිලා නිදා ගන්නවා. හැබැයි ඉතින් මේ විදියට මේ අමාරු දරාගෙන ඉන්න බැරි නිසා සායනය තියෙන දිනේට කොහොම හරි කීයක් හරි සොයාගෙන සායනවලට යනවා.

කාගෙන් හරි ණයක් ඉල්ලුවත් ඒ අය දෙන්නේ නැහැ. මොකද ඒ අයට තේරෙනවා කවදාවත් මට ඒ ණය ගෙවන්න තරම් හැකියාවක් නැහැ කියලා. ඒ නිසා හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මට ලොකු ලොකු දේවල් අවශ්‍ය නැහැ. මට මේ සායනයකට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න වේලක් ඇර වේලක් හරි කන්න කීයක් හරි කවුරුහරි දෙනවා නම් මහ පිනක්.”

කරුණාරත්න මහතාගේ නමින් මීගහකිවුල ලංකා බැංකුවේ අංක 83514990 යටතේ ඇති ගිණුමට ඔබගේ දායකත්වය ලබා දීමෙන් කරුණාරත්න මහතාට ශක්තියක් විය හැකිය. මීට අමතරව ඔහුගේ අසල්වැසි ඥාතියකු වන ඩී.එම්. තිලකරත්න මහතාගේ දුරකථන අංක 0775873366ට ඇමැතීමෙන්ද ඔහුගේ විස්තර ලබාගත හැකිය.

LEAVE A REPLY