සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවකයන් සඳහා ජනවාරි මස මුල් සතියේ ඔවුන්ගේ දරුවන් සඳහා පොත් මිලදී ගැනීමට ලබාදෙන රුපියල් 4,000ක දීමනාව මේ දක්වා ලබා නොදීම නිසා රෝහල් තුළ පැනනැඟී ඇති ප්‍රශ්නයට විසඳුමක් ලෙස මේ මුදල ලබා නොදුනහොත් අද දින පෙරවරු 8.00 සිට 10.00 දක්වා සේවයට පැමිණීමේ පොත් අස්සන් කර රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට කටයුතු කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා ප්‍රකාශ කෙළේය.

ඔහු තවදුරටත් සඳහන් කෙළේ සියලුම රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙම මුදල සෑම වර්ෂයකම ජනවාරි මස පළමු සතියේ ලබාදෙන බවයි. මෙම මුදල ලබා නොදීම නිසා පාසල් ශිෂ්‍යයන්ට පොත් ලබාදිය නොහැකි තත්ත්වයන් මතු වී තිබීම සම්බන්ධව සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට පෙරේදා (7දා) ලිපියක් යොමු කර ඇති බව සංගමය කියයි.

මහින්ද ගුරුගේ මහතා සඳහන් කළේ සියලු රෝහල් අධ්‍යක්ෂවරුන් මඟින් මේ සම්බන්ධව විමසීමේදී කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මෙම මුදල් එවා නොමැති බවයි.

යම් මෙහෙයකින් 10 වැනි දින වන තුරුත් මෙම මුදල නොලැබෙනුයේ නම් උදේ 6 සිට දහවල් 12.00 දක්වා රාජකාරි කටයුතුවලින් ඉවත් වන බව මහින්ද ගුරුගේ සඳහන් කරයි.

LEAVE A REPLY