LB ෆිනෑන්ස් ආයතනයෙන් ලබාගත් ණය මුදලකට අදාළව වාරික 06ක් ගෙවීමට නොහැකිවූ ව්‍යාපාරිකයකුගේ ලක්ෂ 400ක පමණ තක්සේරු වටිනාකමක් ඇති නිවසක් රුපියල් ලක්ෂ 166කට හිලවු වශයෙන් අත්කර ගැනීමට එම ආයතනය කුළී මැරයන් යොදා ගැනීමේ නින්දිත සිදුවීමක් වාර්තා වෙයි.

මේ වන විටත් LB ෆිනෑන්ස් ආයතනය යොදවා ඇති කුළී මැරයන්ගේ දරුණු පහරදීම් වලටත් දේපළ අලාභානියටත් පමණක් නොව මරණීය තර්ජන මත එම පුද්ගලයා විදෙස්ගතවී ඇත.

ඒ අනුව 51/12, පී.බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව ලිපිනයේ පිහිටා ඇති නිවස මේ වන විට LB ෆිනෑන්ස් ආයතනයේ මැරයන් විසින් අත්කරගෙන ඇති අතර අදාළ ව්‍යාපාරිකයා පවසන්නේ ලක්ෂ 400ක් පමණ වන තම නිවස විකුණා එයින් ලැබෙන මුදල දෙපාර්ශවය අතර බෙදා ගැනීමේ සූදානමක් පවතින බවය.

විදෙස්ගතවීමට පෙර ව්‍යාපාරිකයා මේ සම්බන්ධව පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති නමුත් ඔවුන් නිසි ලෙස රාජකාරිය සිදුනොකළ බැවින් තමන්ට විදෙස් ගතවීමට සිදුවූ බවද ඔහු පවසයි.

අදාළ පැමිණිල්ල

මේ සම්බන්ධව ඔහු විසින් අප හමුවේද තමන් මුහුණදී සිටින දුෂ්කරතාව සඳහන් කළ අතර ඒ ඇසුරෙන් වන අප අනාවරණය මෙසේය.

ලක්ෂ 124ක් දැනටමත් ගෙවලා !

2014 වසරේ සැප්තැම්බර් මාසයේ ව්‍යාපාරිකයා  එම නිවස LB ෆිනෑන්ස් සමාගමේ  උගසට තබා ණය මුදලක් ලබාගෙන තිබේ. නමුත් පසුව ව්‍යාපාර කටයුතු අඩාලවීම හේතුවෙන් මාස 5ක කාලයක් ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවට ඔහු මුහුණදී ඇති අතර ඒ වන විටත් මාසික වාරිකය රුපියල් 275000.00 බැගින් වාරික 36ක් ගෙවා අවසන්කර තිබී ඇත. එසේම තවත්  ලක්ෂ 25ක් වෙනමද වන ලෙස ණය මුදල වෙනුවෙන්  ගෙවා තිබේ. ඒ කියන්නේ මේ වන විට ව්‍යාපාරිකයා ලක්ෂ 124ක් ගෙවා ඇති බවය.

නමුත් තවදුරටත් නිසිලෙස අදාළ වාරික ගෙවීම දුෂ්කරව ඇති බව තේරුම්යාමත් සමඟ මෙම ව්‍යාපාරිකයා සිදුකර ඇත්තේ ඒ පිළිබඳ LB ෆිනෑන්ස් ආයතනය දැනුවත්කර සම්පුර්ණ වශයෙන් ගෙවීමට තිබෙන මුදල සම්බන්ධව විමසීමය. ඒ අනුව අදාළ ආයතනය ඔහුට දන්වා ඇත්තේ ලක්ෂ 166ක මුදලක් ගෙවීමෙන් ණයෙන් නිදහස්විය හැකි බවය. එම දැනුම්දීම අනුව  ව්‍යාපාරිකයා තීරණය කර ඇත්තේ අදාළ නිවස විකුණා එයින් ලැබෙන මුදලින් ණයෙන් නිදහස්වීමටය.

LB ෆිනෑන්ස් මැරයන් ගෙදරට එවලා !

ඒ බව දැනගැනීමත් සමඟ LB ෆිනෑන්ස් ආයතනය සිදුකර ඇත්තේ සීසර් කණ්ඩායම් දෙකක් එම නිවසට යවා නිවස විකිණීමට ඉඩනොදෙන බවත් නිවස සමාගම භාරයට ගන්නා බව දැන්වීමය. මෙය සිදුව ඇත්තේ පසුගිය ජූලි 25 වනදාය.  එහිදී නීති උපදෙස් පතා ඇති ව්‍යාපාරිකයා සිය නීති උපදේශකයන්ගේ දැනුම්දීම අනුව නිවස අත්පත්කර ගන්නට ඉඩනොදෙන බවත් ඒ වෙනුවට නීතිය ඉදිරියටගොස් තමන් ඉඩම විකුණා ණයෙන් නිදහස් වන බවත් දන්වා ඇත.
නමුත් ඊට ඉඩනොදෙන LB ෆිනෑන්ස් සමාගම දිගින් දිගටම මේ ව්‍යාපාරිකයාට නිවසේ ජීවත්වීමට බැරි තත්ත්වයක් නිර්මාණය කිරීමට දැනුවත්ව කටයුතු කර ඇත. ඒ වරින් වර  නිවසට මැරයන් එවමින් බැන තර්ජනය කරන්නටත්, අසල්වාසීන් සමඟ මේ ව්‍යාපාරිකයා වංචනිකයකු බව පවසමින්ය.

අගෝස්තු 6 මැර මෙහෙයුම !

පසුගිය අගෝස්තු 6 වනදාද එවැනිම සීසර් වෙස් ගත් මැරයින් පිරිසක් මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඇති අතර ඒ 6දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ය.  එම පිරිස  තම ලොක්කා අනෙක්පස සිටින බව දන්වමින් ව්‍යාපාරිකයාට දුරකථනයට සම්බන්ධව වන ලෙස පවසා ඇත. ඒ අනුව ව්‍යාපාරිකයා ඇමතුම හා සම්බන්ධ වූ අවස්ථාවේ ව්‍යාපාරිකයාට අසභ්‍ය වචනයෙන්  බැන තර්ජනය කර  ඇති අතර වහාම නිවසේ යතුර තම පිරිසට දී නිවසින් පිටව යන ලෙසද තර්ජනය කර ඇත.

එහිදී තමන් මේ වන විටත් ලක්ෂ 124 ක මුදලක් ගෙවා අවසන් කර ඇති බවත් නිවස විකුණා සම්පුර්ණ ණය මුදලින් නිදහස්වීමට කටයුතු කරන බැවින් දිගින් දිගටම සිදුකරන තර්ජනය කිරීම් නවත්වන ලෙස දන්වා ඇත. නමුත් ඊට පිළිතුරු වශයෙන් මැර කණ්ඩායමේ ලොක්කා තර්ජනය කර ඇත්තේ එදින සවස දෙකට පෙර නිවසින් ඉවත් නොවුවහොත් මරා දමන බව පවසමින්ය.

පසුව ව්‍යාපාරිකයා පළමුව සිය බිරිඳගේ සහ දරුවන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීම සඳහා ඔවුන් බිරිඳගේ මවගේ නිවසට යවා ඇත. අනතුරුව මේ සම්බන්ධව මොරටුව පොලිසියට පැමිණිලි කර ඇති අතර එහිදී පොලිසිය ද සඳහන් කර ඇත්තේ කිසිවෙකුවත් නිවසින් එළියට ඇදදමා ඉවත් කිරීමට බලයක් නොමැති බවය. එසේම නැවත LB ෆිනෑන්ස් කියාගත් මැරයන් නිවසට පැමිණියහොත් පොලිසියට දුරකථන ඇමතුමක් දෙන ලෙසද පොලිසිය සඳහන් කර තිබේ.

සැබවින්ම නිවසක් කියන්නේ මිනිසෙකුගේ පමණක් නොව සතෙකුගේ පවා මුලික පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. එය මිනිසුන්ට විශේෂ වන අතර කෙනෙකුගේ එවැනි දෙපළක් තවත් පාර්ශවයකට අත්පත් කරගන්න හැකියාව ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා පමණය.

මේ සරල කාරණය LB ෆිනෑන්ස් හී සිටින අදාළ තීන්දු තීරණ ගනිමින් මැරයන් එවන නරුමයන්ද නොදන්නවා විය නොහැක. නමුත් මෙතන සිදුව ඇත්තේ ණය පියවීමට සහයදීම වෙනුවට සමාගමට අති විශාල මුල්‍ය ලාභයක් අත්කර ගැනීම වෙනුවෙන් දෙපළක් බලහත්කාරයෙන් මංකොල්ල කෑමට සූදානම් වීමක්ය.

බිරිඳගේ ගෙදරටත් මැර තර්ජන !

මේ අතර අදාළ පැමිණිල්ල සිදුකොට පස්වරු 1.30 ට පමණ ව්‍යාපාරිකයා බිරිඳගේ මවගේ නිවසට ගොස්තිබේ.  එහිදී LB ෆිනෑන්ස් සමාගමෙන් කියාගත් 20-25 ක පමණ පිරිසක් එම නිවසේ සිට ඇත. පිරිස නිවසෙන් එළියේ සිටියදී ඊට පෙර තමන්ට දුරකතනයෙන් බැන මරණීය තර්ජනය කළ මැරයා නිවස තුළ සිටිනු ව්‍යාපාරිකයා දැක ඇත. එහිදී තම දරුවා සහ බිරිඳත්, බිරිඳගේ මවත් දැඩි භීතියකින් සහ කම්පනයෙන් පසුවූ බවද ඔහු සඳහන් කරයි.

එහිදී බිරිඳ ව්‍යාපාරිකයාට සඳහන් කර ඇත්තේ නිවස ලබානොදුන්නහොත් පවුල් පිටින් හිරේ යවන බව කියමින් තර්ජනය කල බවය. එහිදී මැරයින් නැවතත් තර්ජනය කර  “තොගෙන් ගේ අරගෙන මිසක් අපට යන්නත් බෑ, ඉඳපන් හොඳ වැඩක් කරන්න” කියමින් ව්‍යාපාරිකයාට පහරදීමට ගෙන ඇත. එහිදී බිරිඳ සහ දරුවා මෙන්ම  බිරිඳගේ මව උදව් ඉල්ලා කෑමොර දෙන්නට ගෙන ඇති අතර  එහිදී කිසිවෙකු පැමිණේ කියා බියටපත් මැරයන් පළාගොස් තිබේ.

පසුව ව්‍යාපාරිකයා මේ පිළිබඳ 119 පොලිස් ක්ෂණික අමතුන් අංශයට දන්වා ඇති අතර සිදුවීමෙන් පැය දෙකකට පමණ පසුව පොලිසිය ඒ ස්ථානයට පැමිණ ඇත. ඒ වන විටත් ව්‍යාපාරිකයාගේ ඔළුව පැලී ලේ වහනය වෙමින් තිබී ඇත. එසේම නිවසේ දේපල රැසකටද දැඩි අලාභානි සිදුව තිබේ. පොලිසිය මේ සිදුවීම සටහන් කරගෙන ව්‍යාපාරිකයාට දන්වා ඇත්තේ මේ පිළිබඳ පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් සිදුකරන ලෙසය.

කෙසේ වුවත් එහිදී රජයේ රෝහලකට ඇතුළත් වන ලෙස පොලිසිය දන්වා ඇතත් රෝහල්ගතව සිටින අතරේ මැරයන් සිය නිවස අත්පත් කර ගැනීමේ අවධානමක්  ගැන සිතූ ව්‍යාපාරිකයා පෞද්ගලික රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ ඇත.

නමුත් දිගින් දිගටම මැර තර්ජන එල්ලවීමත්, පොලිසිය ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමත් හමුවේ අවසානයේ මැරයන්ට නිවස අල්ලාගන්නට ඉඩහැර ව්‍යාපාරිකයා විදෙස් ගතවී ඇත.

යහපාලන ආණ්ඩුව යටතේ පවා මිනිසුන් දැඩි අයුක්තියකට මුහුණදී සිටින බවට මේ කදිම සාක්ෂියක් වෙයි. මිනිසුන් බොහෝ දෙනෙකු සභාග ආණ්ඩුවක්, භාරකාර ආණ්ඩුවක් වැනි ප්‍රශ්න දෙස පමණක් සංවේදීව සිටින විට තවත් මිනිසෙකුට මරබිය හේතුවෙන් නිවෙස පමණක් නොව උපන් රටද අත්හැර යන තැනට කටයුතු සිදුව ඇත.

එසේනම් වගකිව යුත්තනි, මේ ඔබේ අවධානය පිණිසමය.